පශ්චාත් 9/11 – නව්‍ය මූල ධර්මවාදය

article-1058156-01A4BFE0000004B0-698_468x305

ඉරාණ ඉස්ලාමීය විප්ලවයේ සාර්ථකත්වයෙන් වසර 20 ට පමණ පසු පශ්චාත් 1970 දසකයේ සිට අරාබිය පුරා ඉස්මතු වූ ඉස්ලාමීය සටන්කාමී රැල්ල, වෙනත් මගක් ගන්නේ ය. ජාතික සීමාවන් නොතකන විශ්ව ඉස්ලාමීය සමාජයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන ධාරාවේ ඉස්ලාමීය ව්‍යාපාර, ඉස්ලාමීය ජාතිකත්වයක් වෙත නැඹුරු වී ඇත. ජාතික දේශපාලනයෙහි පිළිගත් භුමිකාවක් දැන් ඔවුනටත් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් ඔවුහු ඔවුන ගේ විශ්ව ඉස්ලාමීය දාර්ශනික නැඹුරුව, අත හැර ඇත. අනෙක් අතට ඉස්ලාමීය තෙරපුමෙන් බේරී කිසියම් පිළිගැනුමක් ලබා ගැනීමට, ඇතැම් ලෞඛික රාජ්‍ය පවා සාම්ප්‍රදායික ඉස්ලාමීයකරණයකට අත පෙවූ අතර, එය පාරාවළල්ලක් බඳු විය. එය දාර්ශනික වශයෙන් සාම්ප්‍රදායික වූවත් බොහෝ විට
දේශපාලනිකව ඉතා සටන්කාමී, නව ඉස්ලාමීය මූලධර්මවාදයකට හේතු සපයා ඇත. මේ නව්‍ය මූලධර්මවාදය සැළකිය යුතු පමණින් රාජ්‍ය ප්‍රතිපත්ති වලින් හා එහි උපායිකත්වයෙන් වෙන් වූවකි. බැලු බැල්මට මෙය ඉස්ලාමීය ව්‍යාපාර මෙන් දේශපාලනීකරණය නොවූවකි. මෙය ෂාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දක්වන උනන්දුව, ඉස්ලාමීය රාජ්‍යයේ ස්වරූපය විග්‍රහ කිරීමට නොදක්වයි. මේ ව්‍යාපාරය මූලික වශයෙන් සමාජ-සංස්කෘතික ප්‍රවාහයක් ලෙස මතු වුන ද එය අල්-ඛිඩා වැනි ලිහිල් ජාලයන් හි අන්තවාදී ප්‍රකාශනයක් ද අඩංගු කර ගත්තකි. අල්-ඛිඩා සංවිධානය
2001 සැප්තැම්බර 11 වන දින ලෝක වෙළඳ සංකීර්ණයේ විනාශයට වග කිව යුතු සංවිධානය ය. ඒ සමග ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන, ජාතික ඉලක්ක වෙත එල්ල කළ රාජ්‍ය අනුග්‍රාහක ප්‍රහාර වෙනුවට භුගෝලීය සීමාවන් නොතකන අක් මුල් නොමැති ක්‍රියාකාරිත්වයකට මාරු වී ඇත. එහෙත් මේ නව ව්‍යාපාර සතු කේන්ද්‍රීය බලය සීමා වන්නේ ඔවුන් ට ඒ සමාජයන්හි ජාතික දේශපාලනයෙහි ඓන්ද්‍රීය සමිබන්ධයන් නොමැති හෙයිනි. එහෙත් මෙය පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ එසේ නොවේ. මේ දෙරට, වත්මන් ඉස්ලාමීය මූලධර්මවාදයෙහි රත් වූ කම්මල් බවට දැන් පත්ව ඇත.

ඉස්ලාමීයවාදය යනු නූතන ඉස්ලාමීය මූලධර්මවාදී දේශපාලනයේ නව්‍ය ප්‍රකාශන යයි. එය ෂාරියා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවන, දේශපාලන කි‍රයාකාරිත්වයක් ඔස්සේ සැබෑ ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙනී සිටින්නකි. ඉස්ලාමීය ලබිධිකයින් ඉස්ලාම් ආගම දකින්නේ හුදෙක් ආගමක් ලෙසම නොවේ. එය ඔවුන්ට සමාජ ජීවිතයේ සමස්ථ පැවැත්ම (දේශපාලනය, නීතිය, ආර්ථිකය, සමාජ
සාධාරණත්වය, විදේශ ප්‍රතිපත්තිය වැනි සියල්ල) තීරණය කළ යුතු දේශපාලන දහමකි. සමස්ථය හකුලා ගත් දහමක් ලෙස ඉස්ලාම් ආගම සම්බන්ධව පැවති සාම්ප්‍රදායික අදහස් නුතන සමාජයෙහි සංකීර්ණත්වය වෙත දැන් දිගු වී ඇත. ඇත්තෙන්ම ඔවුහු දැන් අධ්‍යාපනය, තාක්ෂණය හා පවුල් ව්‍යුහය සම්බන්ධ සමාජ නවීනත්වය වැනි සමාජීය වෙනස්කම් පිළිගනිති. මේ ව්‍යාපාරයේ පුරෝගාමීන් ලෙස ගැනෙන්නේ හසන් අලි බන්නාහ්
(1906-1949) අබ්දුල් අලාහ් මවුඩිඩි සහ ෂියාහ් වරුන් අතරින් බඛිර් අල් සදර් – අලි ශරියාටි සහ රුහොල්ලාහ් කොමෙයිනි යන අය ය. ලෞඛිකත්වයට නතු වූ උගත් තරුණ තරුණියන් අතර ඔවුනට විශාල බලපෑමක් තිබිණ. නමුත් සාම්ප්‍රදායික උලාම්වරුන් අතර එතරම් බලපෑමක් නොතිබිණ. ඉස්ලාමියවාදීන්ට අනුව ඉස්ලාම් රාජ්‍ය යනු කිසියම් දේශයකට සීමා නොවුනු සමස්ථ ඉස්ලාමීය ජනතාව එක් රොක් කරන්නා වූ රාජ්‍යයකි. එවන් රාජ්‍යයක්, ස්වර්ණමය ඉස්ලාමීය යුගය වූ එහි පළමු දසකයන්හි මෙන් ගෝත්‍රික, වාර්ගික හෝ ජාතික බෙදීම් අභිබවා යන්නකි. එහි පැවැත්මෙහි ශක්තිය ඇත්තේ සැබෑ ඉස්ලාමීය දහම ගැන හෝ විජිතවාදය ගැන අසීමිත විශ්වාසයක් තබන්නා වූ සිය ආගමිකයින්ගේ ය. මෙම ව්‍යාපාර සැබෑ අරුතින් ප්‍රජාතන්ත්‍රවාදී නොවුන ද ඒවා නිතැතින්ම ප්‍රචණ්ඩ නොවන්නා හ. පාකිස්ථානයේ ජමා-ත් ඉස්ලාමි සහ තුර්කියේ රෙෆා පක්ෂයත් බොහෝ මුස්ලිම් සහෝදර සංවිධානත් නෛතික සීමා හා නෛතික රාමුවෙන් පිටතට නොගියහ. එසේ පිට වන්නේ සිරියාවේ මෙන් දේශපාලනයේ යෙදෙන්නට අවසර
නොලද විටෙක ය.

ඉස්ලාමීය පක්ෂ අභියෝග කරන්නා වූ රාජ්‍යය ව්‍යුක්තියක් නොවේ. එය ඉතිහාසීය මූලයන් සහිත මූලෝපායි භූ තලයක පංගුවකි. එවගේම ඉස්ලාමීය පක්ෂ ද කිසියම් සමාජීය දේශපාලන සංස්කෘතියක නිපැයුමකි. විශ්ව ඉස්ලාමීය දැක්මක් ගැන කතා කළ ද බොහෝ
ඉස්ලාමීය ව්‍යාපාර, ජාතික විශේෂත්වයන් අනුව හැඩ ගැන් වී ඇත. ඉස්ලාමීය දර්ශනය අනුව යැයි ඔවුහු වහාම නොවුනත් පසුව හෝ දේශීය වුවමනාවන් සඳහා පෙනී සිටිති. වසර 1990 දී ප්‍රධාන ඉස්ලාමීය ව්‍යාපාර සම්බන්ධයෙන් කෙරුනු සමීක්ෂණයකට අනුව ඔවුන් ගේ මතවාදී ස්ථාවර එකිනෙකට බොහෝ සෙයින් සමාන වුව ද ඉස්ලාමීය ජාත්‍යන්තරයක ස්වරූපයේ කිසිවක් සාදා ගැනීමට ඔවුනට නොහැකිව තිබේ.

මෙම දේශීයකරණය වූ ඉස්ලාමීයවාදය, මැද පෙර දිග බොහෝ රටවල දී හමු වන්නේ ය. අරෆත් ගේ පලස්තීනු විමුක්ති සංවිධානය, හමාස් විසින් අභියෝගයට ලක් කරනු යේ ඉස්ලාමීය කරුනු මත නොව පලස්තීනු ජනතාව ගේ විමුක්තිය පාවා දීම මත ය. සුඩානය එක්සත් කිරීමේ ආයුධයක් ලෙස ඉස්ලාමය යොදා ගන්නා ටුරාබි, දකුණෙහි ක්‍රිස්තියානුවන් සහ ප්‍රාථමික ඇදහිලිධාරී ප්‍රජාවන් ඒ වෙනුවෙන් ඉස්ලාමීයකරණයට හසු කරන්නේ ය. තම දේවාරක්ෂකයා බඳු වන සවුදිය නොතකා යේමෙනි ඉස්ලා ව්‍යාපාරය, යේමනිය නැවත එක්සත් කිරීමෙහි යෙදෙන්නේ ය. ලෙබනන් දේශය ආරක්ෂා කර ගැනීමේ වුවමනාව අවධාරණය කරන ලෙබනන් හෙස්බුල්ලාවරුන් ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් සමග සම්බන්ධකම් වර්ධනය කර ගෙන ඇත. ඒ වෙනුවෙන් ඔවුහු ලෙබනනය ඉස්ලාමීය රාජ්‍යයක් කිරීමේ සටන් පාඨය අත හැර ඇත. ජාතික රාජ්‍ය අර්ථකතනය කිරීමේ දී ඔවුහු දැන් ක්‍රිස්තියානි ක්‍රියාකාරිත්වයට ද අවකාශයක් ලබා දී ඇත. සිය ඔටොමාන් උරුමය ගැන කතා කරන තුර්කි රෙෆා පක්ෂය, මැද පෙරදිගෙහි නව ඔටොමානු තුර්කි
ආකෘතියක් පිහිටු වීමට උත්සාහයක් ගන්නේ ය. ඒ ආකාරයට ම ඉරාකයේ ඩාහ්වා වැනි ෂියාහ් පක්ෂ ජාතික එක්සත් කම ගැන කතා කරති. ඒ සඳහා ඔවුහු ඉස්ලාමීය නොවන ජාතික සංවිධාන හා සමීප වී ඇත. ප්‍රංශ විරෝධී යුද්ධයෙහි එන්.එල්.එෆ් සංවිධානයේ උරුමය, ඇල්ජීරියානු එෆ්.අයි.එස් සංවිධානය විසින් ඩැහැ ගෙන ඇත. එහෙත් ඔවුනට මොරොක්කෝවෙහි හෝ ටියුනිසියාවෙහි මුල් නැත. වසර 1991 පළමු ගල්ෆ් යුද්ධයේ දී
මුස්ලිම් සහෝදර සංවිධාන යේ එක් එක් ශාබා තීන්දු ගනු ලැබූයේ ඔවුන් ගේ දේශීය වුවමනාවන් අනුව ය. නිදසුනක් ලෙස එහි කුවේටි ශාබාව ඇමෙරිකානු ආක්‍රමණයට සහාය දැක් වූ අතර, එහි ජෝර්දානු ශාබාව ඊට දැඩිව විරුද්ධ විය.

දේශීය වශයෙන් මෙම සංවිධාන එතෙක් එකතු කර නොගත් සමාජ ස්ථර, දේශපාලන ප්‍රවාහයට ඇතුලූ කර ගත් හ. ඉරාණයේ එතෙක් අත හැර තිබුනු නාගරික පිරිස් වන මොස්ටාසාෆින් වරුන්, ලෙබනනයේ ෂියාහ් වරුන්, රෙෆා සඳහා වන මෑත කාලයේ නාගරික පදිංචිකරුවන් හා කුර්දි වරුන්, 1988 ඔක්තෝම්බරයේ ලේ වැකි මර්දනයෙන් බියට පත් ඇල්ජීරියාවේ නාගරික තරුණන්, උතුරු යේමනයේ ඇතැම් ගෝත්‍රිකයින් එවැනි ය. ඒ මගින් ඔවුහු ජාතික දේශයන් සඳහා මුල් සපයන අතර, දේශීය දේශපාලනයකට ද මග පාදති. එය සැබවින් ම අනාගත, යථාවාදී ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයකට මග පාදන්නකි. එසේ ගත් කල ඉස්ලාමීය පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නොවුනත් ඉරාණයේ දැකිය හැකි ආකාරයේ අභ්‍යන්තරයෙන් වැඩෙන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ඇවැසි වාතාවරණයකට, ඔවුහු මුල පුරති. කඨාමි ගේ මැතිවරණය පෙන් වූ අයුරු, මුලූ මහත් ජනතාව කැටි කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඉල්ලීමකට ඉඩ ඇත්තේ සියලූ දෙනාට පොදු වු වේදිකාවක් සහිත මුල් බැස ගත් විප්ලවයක පමණි.

මෙම ක්‍රියාදාමය සම්පූර්ණ වන විට, ඊට ඇතුලූ වන ප්‍රධාන ධාරාවේ ඉස්ලාමීය ව්‍යාපාර තම රට වල ප්‍රජාව අතර ස්ථාවර පදනම් සකසා ගන්නා නමුදු, ඉන් බැහැරව ඔවුන් ට තිබූ ආකර්ශනය අහිමි කර ගනිති. තුර්කියේ රෙෆාවරුන්ට (දැන් ෆසිලෙට්වරුන්) බටහිර යුරෝපීය සංක්‍රමණික තුර්කිවරුන් අතර මිස ඉන් බැහැර පිට රැටියන් අතර, කිසිදු ආකර්ශනයක් නැත. ඉස්ලාමීය ආධිපත්‍යයට හා ඉරාණයට ද එසේම ය. ඒ හේතුවෙන් නවීන ජාතික රාජ්‍ය ප්‍රතික්ෂේප කරන හා විශ්ව ඉස්ලාමීය ප්‍රජාවක් (උම්මාවක්) වෙනුවෙන් පෙනී සිටින, වඩා සටන්කාමී ඉස්ලාමීය ව්‍යාපාර සඳහා ඉඩ ලැබින. 70 සහ 80 දසකයන් හි වර්ධනය වූ ඉස්ලාමීය දේශපාලන තරගයට සමාන්තරව මුස්ලිම් සමාජයන් හි වඩා තැන්පත් වූ මුස්ලිම්කරණ ක්‍රියාවලියක් දිග හැරුනි. එහි ප්‍රතිඵලය වූයේ පර්දාවෙන් මුහුණු වසා ගත් කාන්තාවන් මහ මග වැඩි පුර දැකීමට ලැබීම ය. රාජ්‍ය පාලනයේ දී ෂරියාහ් නීතිය වැඩියෙන් ක්‍රියාත්මක වීම ය. මේ ඉස්ලාමීයකරණය දැනුවත් රාජ්‍ය මැදිහත් වීමක් වන අතරම, සමාජ ක්‍රියාවලියක් ද වේ. 80 දසකයෙහි ඉස්ලාමීය විරෝධතා හමුවේ නිල වශයෙන් ලෞඛික රාජ්‍යයන් පවා ඉතා තැන්පත් නිල ඉස්ලාමීයදහමක් ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ ය. එහි පළමු අදියර යහපත් මෙන් ම සාර්ථක විය. එහෙත් රාජ්‍ය අධීක්ෂණය හා පාලනය කිසි විටෙක බලාත්මක නොවින. මේ හැම රටකම ආගමික පාසල් ජාලයන් පිහිටු වීමේ ප්‍රතිඵලයෙහි වෙනසක් නොතිබුණි. සාමයික විද්‍යාව සඳහා උපාධියක් අතැති සැවොම දැන් ශ්‍රම වෙළඳ පලට ඇතුලූ වන්නේත් නිතැතින්ම මැදිහත් වන්නේත් අධ්‍යාපනය හා නීතිය වඩාත් ඉස්ලාමීයකරණය කිරීමට ය. එමගින් ඔවුන් ගේ රැකියා අවස්ථා හා තත්ත්වය වඩා යහපත් වන හෙයිනි.

මේ කණ්ඩායම් සතු ලක්ෂණ තුන කි. පළමුව ඔවුහු බටහිරට විරුද්ධව ඉතා සාම්ප්‍රදායික ඉස්ලාමීය අර්ථකතන අනුව, දේශපාලන හා සටන්කාමී දේව අරගලය (ජිහාඩ්) එක් තැන්කර ගනිති. එය ඉස්ලාමීය ඉරාණ ජනරජයේ නිල මතවාදයට වඩා, සවුදියේ වහාභිවාදයට සමීප වූවකි. (මෙය තලෙබාන්/අල් ඛිඩා සංවිධාන ඉතා හොඳින් උකහාගත්තකි) කාන්තාවන් වෙත දැක්වෙන ආකල්පයන්ට වඩා සාම්ප්‍රදායික වෙනත් කිසිවක් කොතැනකවත් දැකිය නොහැක. ඉස්ලාමීයවාදය ඉතා දැඩිව කාන්තා අධ්‍යාපනය සහ දේශපාලන සහභාගිත්වය අවධාරණය කළ ද ඒ වෙනුවෙන් කාන්තාවන් පර්දාවෙන් මුහුණ වසා ගෙන, බාලිකාවන්ට පමණක් සීමා වූ පාසල් වෙත පමණක් යා යුතු විය. මේ අතර, ප්‍රසිද්ධ ජන ජීවිතයෙන් කාන්තාවන් තහනම් කිරීමට, නව මූලධර්මවාදීන් ඉදිරිපත් වන්නේය. එවගේම ඔවුහු සංගීතය, කලාව හා සාහිත්‍යය ඇතුලූ විනෝදයට, දැඩිව විරුද්ධ වන්නාහ. ඔවුන්ට ආර්ථික හා සාමාජීය න්‍යාය පත්‍රයක් නොතිබීම, ඉස්ලාමියවාදයට ප්‍රතිවිරුද්ධ වන්නකි. ඔවුහු සම්මතවාදී, සුන්නි මූලධර්මාවාදී සම්ප්‍රදායේ උරුමක්කාරයෝ ය.වෙනත් ආගමික ආභාෂයන් ගෙන් ඉස්ලාමීය පාරිශුද්ධතාවය හීන වේ යැයි ඔවුහු දැඩි භීතියකින් ඇත්තා හ. ඉස්ලාමීය රාජ්‍යයක් හා සමාජයක් සඳහා ෂාරියාහ් නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුහු අවධාරණය කරති. මේ දැඩි සුන්නිවාදය ඉතා දැඩි ෂියාහ් විරෝධයකට ද පෙරලී ඇත. මෙම ෂියාහ් විරෝධය පණ ගැන් වූයේ 80දසකයේ වර්ධනය වූ සවුදි වහාභිවාදය හමුවේ ය. එය පාකිස්ථානයේ ෂියාහ් සහ සුන්නිවරුන් අතර සීතල එහෙත් තීව්‍ර යුද්ධයකට හේතු විය. ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් නායකයෙකු වූ මසාර්-ඉ ෂරීෆ් ලබා ගත් පසු 1998 අගෝස්තුවේ දී ෂියාහ්වරුන්ට විරුද්ධ ව දියත් වූ සමූහ ඝාතනයෙන් එය පිළිබිඹු වූවකි. එවගේම ඔවුහු ඉතා දැඩි යුදෙව් හා ක්‍රිස්තියානි විරෝධීන් ද වූහ. ඊශ්‍රායලය, ඇමෙරිකාව හා ඉරාණය එක්ව, සත්‍ය ඉස්ලාමය විනාශ කරන්නේ යැයි ඔවුහු සැබවින් ම විශ්වාස කරති.

අධිරාජ්‍ය විරෝධය 50 දසකයේ සිටම ඉස්ලාමීය ව්‍යාපාර සතු ව තිබූ අතර, ඉන් පසුව ආගමික නොවන උගත් මුස්ලිම්වරුන් ගේ ඊශ්‍රායෙල් විරෝධය, යුදෙව් ව්රෝධයකට පරිවර්තනය වූවත් නව සුන්නි ව්‍යාපාර අතර වර්ධනය වූ ක්‍රිස්තියානි විරෝධි ප්‍රචාර,අලූත් එකතුවක් විය. ඉස්ලාමීය ලබ්ධිකයෝ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි විරෝධි නොවූහ.ඉරාණ විප්ලවය අතරතුර කිසිදු ක්‍රිස්තියානි පල්ලියකට, කිසිදු පහර දීමක් නොවුනි.ඊජිප්තු මුස්ලිම් සහෝදරත්වය කිසි විටෙක, පාරම්පරික කොප්ට් ක්‍රිස්තියානුවන් ට පහර නොදුන්නේ ය. එහි අරුත වූයේ සැබෑ අදහන්නවුන් අතර, කිසියම් පොදු බවක් ඇත යන්න ය. එහෙත් දැන් ආගමික යුද්ධයට අලූත් අරුතක් ලැබී ඇත.

දෙවන කාරණය වනු යේ මේ ව්‍යාපාර විශ්වීය ආත්මයකින් යුක්ත වීම ය. වසර 1993 සහ 2001 අතර බින් ලාඩන් ගේ මිය ගිය හෝ අත් අඩංගුවට පත් වූ අනුගාමිකයින් බහුතරයක් අක් මුල් ලිහී ගිය, බටහිර අධ්‍යාපනයක් ලැබූ, ඔවුන් ගේ පවුල් හා සමාජයන් ගෙන් පිට මං වූ අය වූහ. ඔවුහු විශ්ව සමාජයක ජීවත් වෙති. ඇතැම් විට විශ්වීය ආත්මයන් සඳහා සම්බන්ධතා හැදෙන්නේ පටු ජාතිකත්වයන් ඔස්සේ ය. තලේබාන්වරුන්ගේත් පාකිස්ථාන ජමාහ්ත් ඉස්ලාමි නායකත්වයේත් (බාසි හුසේයිනි) ජමියාහ්ත් උල්මා නිකායක නායකත්වයේත් (අකොරා බථාක් හි සෙනේට් සභික සමි උල් හඛ්) පාකිස්ථානි බුද්ධි සංවිධානයේ (අයි.එස්.අයි) බොහෝ නිලධාරින්ගේත් (තලේබාන්වරුන් සඳහා වන උපදේශක කර්නල් ඉමාඩ්) පොදු පශ්ටුන් වාර්ගිකත්වය මෙනි.

ඉස්ලාමියවරුන් ජාතික රාජ්‍ය පිළිගැනීමට උත්සුක වූවත් නව්‍ය මූලධර්මවාදීහු, පටු ජාතිකත්ව සම්බන්ධතා සහ ගෝලීයකරණය අතර සිරගත වූ, ජාතික රාජ්‍ය අර්බූදයේ ප්‍රකාශකයින් වූහ. රාජ්‍ය ගැන තලේබාන්වරුන්ට එතරම් කැක්කුමක් නැත. ඔවුන් ඇත්තෙන්ම ෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය නාමය ගලවා දමා, එය එමිරේටයක් ලෙස නම් කර හෑල්ලූ කළේ ය. මොල්ලාහ් ඕමාර් ඇමති මණ්ඩල රැස්වීමට සහභාගි වීමට කිසිදු වුවමනාවක් නොදැක් වීය. අගනුවරට යාමට ද ඔහු උනන්දු නොවී ය.

ඇත්තෙන්ම මේ විශ්වීය නව්‍ය මූලධර්මවාදය, ඉස්ලාමීය අතීතයට වඩා නූතන ගෝලීයකරණයේ ප්‍රතිඵලයකි. ජාත්‍යන්තර භාෂා දෙකක් (ඉංග්‍රීසි සහ අරාබි) භාවිතකරමින්, පහසුවෙන් ගුවන් ගමන් යමින්, අධ්‍යාපනයක් පුහුණුවක් හා විවිධ රටවල රැකියාවන් ද ලබමින්, ජංගම දුර කතන හා අන්කර් ජාල සන්නිවේදනයේ වාසිය ද ඇතිව ඔවුන් තමන් ගැන සිතන්නේ මුස්ලිම්වරුන් ලෙස මිස, කිසියම් රටක පුරවැසියන් ලෙස නොවේ. බොහෝ විට ඔවුන් කැමැත්තෙන් අක් මුල් ගලවා ගත්තවුන් ය. බොහෝවුන් ගාසා හෝ බටහිර ඉවුරේ නොව, 1948 සිට පලස්තීනු සරණාගතයින් ය. බින් ලාඩන් ඔහු ගේ සවුදි පුරවැසි භාවය අහිමි කර ගත්තෙකි. තව බොහෝ අය එක් රටකින් තව රටකට අධ්‍යාපනය හෝ රැකියා සොයමින් යන, සංක්‍රමණික පවුල් වලට අයත් වූවන් ය. නූතන විශ්ව ජාලයන් හා සාම්ප්‍රදායික, ඇතැම් විට ප්‍රාථමික පටු ජාතිකත්ව සබඳතා (ගෝත්‍ර නැතිනම් ආගමික පාසල් පද්ධති වැනි) එක්ව පවත්වා ගැනීම, ඇත්තෙන්ම ගෝලීයකරණයෙහි ප්‍රතිවිරෝධයකි. ඔවුන් ගේ ඉතා කට්ටිවාදී ආගමික විශ්වාස සහ ආකල්ප පවා නව්‍ය මූලධර්මවාදීන් මේ පෘථිවියෙහි පැතිර යන අනෙක් කල්ලි වලට වඩාවෙනස් නොකරයි.

ඔලිව රෝයි – පර්යේෂණ අධ්‍යක්ෂ
සමාජ විද්‍ය පර්යේෂණ මණ්ඩලය – පැරීසිය.

ඔලිව රෝයි The Failure of Political Islam – හාවඩ් විශ්ව විද්‍යාල මුද්‍රණය (1994) The New
Central Asiaසහ Creation of Nations –ටෝරිස් සහ ලොන්ඩ්‍රෙස් ප්‍රකාශන (2000) යන කෘතීන් හි කතුවරයා වේ.

 

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s