සැවොම ගොඩ වී රතු එළි නොදල්වා ඉදිරියටම යමු

 

ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ලංකාවෙි මේ දිනවල ඇතිව තිබෙන ප්‍රධාන ධාරිවේ දේශපාලන කතිකාවන් මූලික වශයෙන් ධාරා දෙකක් යටතේ ගමන් කරනු ලබන බව දක්නට පුලුවන්. මෙම ප්‍රශ්ණය සම්බන්දයෙන් එක් මතවාදයක් ඉදිරිපත් කරණ ගුණදාස අමරසේකර ප්‍රමුඛ දේශ හිතෂී ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරණු ලබන්නේ 13 දීම යනු ඊලම දීම හැර වෙන යමක් නොවන බවයි. ඊයේ (12) මාධ්‍ය හමුවක් කැදවමින් දේශහිතෂී ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරණු ලැබ සිටියේ මෙරට උතුරේ දෙමල ජනතාව විදිනු ලබන පීඩාවන් නිමාකර ඔවුනට යහපත් අනාගතයක් උදාකර දීම කළ යුතු බව තමන් පිළිගන්නා නමුත් 13 වන සංශෝධනය හෝ ඉන් ඔබ්බෙහි වු දේශපාලන විසදුමක් උතුරට අවශ්‍ය බව තමන් පිළි නොගන්නා බවයි. රට බෙදා වෙන්කිරීමේ කූමණ්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රීයාත්මක වන බවත් ඊට එරෙහිව තමන් නැගී සිටින බවත් ඔවුන් ප්‍රකාශ කරණු ලැබීය. ජාත්‍යයන්තර විජාතික බලවෙිගයන් හී කුමණ්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් මගින් මෙරට ස්වෛරීතාවයට හානි පැම්න වීමට තමන් ඉඩ නොතබන බවත් පවසන ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනනේ් දකුණේ මිනිසුන්ට නැති උතුරේ මිනිසුන්ට පමණක් තිබෙන ගැටලුව කුමක්ද යන්නයි. මේවන විට රටේ සමස්ථ ජනතාවට බලපාන පොදු ප්‍රශ්ණ හැරුණ විට උතුරට පමණක් බලපාන විශේෂ ප්‍රශ්ණයක් තිබෙන බව තමන්ට පෙනෙන්නට නැතැයිද පවසන මේ උදවිය කියා සිටින්නේ බලය බෙදීම හෝ 13 වන සංශෝධනය හෝ ක්‍රියාත්මක කිරීම යනු අන් යමක් නොව රට බෙදා වෙන් කිරීම පමණක් වන බවයි.

ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් මේ මතවාදය නව මතවාදයක් නොවන බව සක් සුදක් සේ පැහැදිලි වන අතර මේ මතවාදය නිසා වසර 1921 ලංකා ජාතික සංගමය තුලින් ආරම්භවූ අර්බුදය 2009 දී මිනිස් ජීවිත හතලිස් දහසකට ආසන්න සංඛ්‍යවක් බිලි ගනිමින් නිමා වූ යුද්ධයෙන් පසුවද තව දුරටත් පෝෂණය කරන්ට උත්සහ දරණ බහුතර සිංහල මතවාදය පමණක් වන අතර මේ මතවාදය කරපින්නා ගනිමින් ගමන් කිරීම යනු ඉදිරිගාමී පියවරක් නොව පසුගාමී පියවරක් පමණක් වන බව අවධාරණය කළ යුතුය. මේ නිසා දකුණට නැති උතුරට පමණක් ඇති ප්‍රශ්ණය කුමක් දැයි නොදන්නවා සේ ඇසීම දේශපාලන කුහක ප්‍රකාශයක් නොවන්නේ දැයි අසන්නට සිදු වේ.

ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් දෙවන මතවාදය නියෝජනය කරන පිරිස ප්‍රකාශ කරණු ලබන්නේ මෙම අර්බුදය නිමා කරන්නට නම් 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්බෙන් වූ විසදුමකට ගමන් කළ යුතු බවයි. අප දේශපාලනය පිළිබදව දරණු ලබන මතවාදයන්ට අනුරූපව පැහැදිලිවම අප මෙම දෙවන මතවාදය වෙනුවෙන් පෙනී සිටිනු ලබන බව ප්‍රථම කොට කිව යුතුය. දෙමළ ජාතික සංධානය දිගින් දිගටම මෙම මතය වෙනුවෙන් පෙනී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ දවල් මිගෙල් රෑ දනියෙල්  වර්ගයේ ගේමක් ගසමින් උතුරත් දකුණත් සමග වෙලෙමින් සිටින බවක් දක්නට ලැබෙනවා යැයි කීම බොරුවක් නොවේ. අනෙකුත් බොහෝ උදවිය මේ දේශපාලන ප්‍රශ්ණය මගහරිමින් ආසනික් සමග හෝ විදුලි බලය සමග ගැටෙමින් ප්‍රශ්ණය මගහරිම්න් සිටින අයුරු දක්නට පුලුවන. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවෙි ජාතික ප්‍රශ්නයට විසදුමක් සොයන්නට රජය සමග එකතු වන්නට තමන් සූදානම් බවයි.

මේ සතියේ මම නිව්යෝර්ක් නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා මුණ ගැසුණා. අද ලංකාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් අතර ඇති වී තිබෙන ප්‍රශ්නය පිළිබඳව එතුමාගේ තක්සේරුව වූයේ මේ වන විට ලංකාව ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇති බවත් මේ ප්‍රශ්නය අප විසඳා ගන්නා තුරු ලංකාව එම න්‍යාය පත්‍රයේ තිබෙනු ඇති බවත්ය. ඒ අදහසට මමත් එකඟයි.

යුද්ධයේ අවසන් කාලයේදී වන්නියේ මිනිසුන් මරණයට පත් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට 2009 මැයි මාසයේ බෑන් කී මූන් මහතා ලංකාවට ආවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීමටත්, දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමටත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කෙරෙන පියවර ගැනීමටත් එදා ආණ්ඩුවත් බෑන් කී මූන් මහතාත් එකඟ වුණා. ඒ ප්‍රකාශයෙන් අවුරුද්දකට පසුවත් ලංකා ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව ජාත්‍යන්තරයේ රටවල් ගණනාවක් චෝදනා කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට බෑන් කී මූන් මහතා ඒ පිළිබඳව සොයා බලන්න කණ්ඩායමක් පත් කළා. ඒ කණ්ඩායමේ වාර්තාව ලැබුණු පසු තමයි ලංකාව ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අද විශාල ප්‍රශ්නයක් ඇති වී තියෙන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාවේ වැඩ කටයුතු මෙහෙයවන රටවල් ගණනාවක් තියෙනවා. අපි මේ රටවල් සමඟ හැප්පෙනව ද නැත්නම් එකට එකතු වෙලා වැඩ කරනවා ද කියන එක තමයි ප්‍රශ්නය. අපේ රටේ සමහරු කියනවා ලෝකය අමතක කරලා අපි අපේ වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒත් ඒ පිළිතුරෙන් අපට බේරෙන්න බැහැ. අද මේ රටේ ආර්ථිකය දුවන්නේ විශේෂයෙන්ම යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළුව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු නිසා සහ ජපානය වැනි රටවලින් ලැබෙන ආධාර නිසායි. යුරෝපය සහ ඇමෙරිකාව සමඟ අපේ වෙළෙඳාම අඩු වුණොත්, අපට ලැබෙන ආධාර අඩු වුණොත් ඒක මේ රටට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

ව්ක්‍රමසිංහ මහතා මෙහිදී මුලින්ම මතු කරණු ලබන්නේ මෙි වන විටත් ලංකාවෙි මෙම ගැටලුවට විසදුම් සෙවීම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට ඇතුලත්ව තිබෙන බවයි. අපේ රටේ ස්වෛරීතාවය රැක ගනිමින් ඉදිරියට යන්නට නම් අපි මේ අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කළයුතු රාජත්‍රාන්ත්‍රික භාවය පිළිබදව ඔහු කරණු ලබන හෙළිදරවිව මේ මොහොතේ කිසිසේත්ම අපට අවතක්සේරුවට ලක් කන්නට නොහැකියි. අපේ රටේ ස්වෛරීතාවය භෞමික අඛණ්ඩතාවය රැක ගන්නට අවශ්‍ය

නම් අපි කැමති වුවත් නැතැත් ජාත්‍යන්තර ප්‍රජාවට ඇහුම් කනදෙන්නට අපට සිදුවෙනවා. තවත් නැගෙනහිර ටිමෝරයක් දකුණු සුඩානයක් බවට ශ්‍රී ලංකාව පත් නොවන්නට නම් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරණ පරිදි දැනටමත් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුලත් වී තිබෙන ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසදුමක් සොයන්නට පක්ෂ ව්පක්ෂ ජාති භේද අත්හැර සැවොම එකම පීල්ලකට පැමිණීම වැදගත්ය.

අපේ පාක්ෂිකයන් කීප දෙනෙක්ම ඇහුවා මේක මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නිසා එයාටම මේක විසඳගන්න අරින්නේ නැතුව අපි මොනවටද මෙතනට එකතු වෙන්නේ කියලා. ප්‍රශ්නෙ ඇති වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේයි. ප්‍රශ්නේ නිසා ඇතිවන විපාක ආණ්ඩුවට විතරක් සීමා වෙනවා නම්  අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අවාසනාවට ආණ්ඩුව අරගෙන තියෙන මේ පියවර තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් ඒකේ විපාක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. දැනටම පිටරට යන්න වීසා ගන්න අමාරුයි. පිටරටින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. රටේ කීර්ති නාමය ගැන විශාල ප්‍රශ්න ඇතිවෙලා. යුරෝපය සහ ඇමෙරිකාව ලංකාව සමඟ පවතින වෙළෙඳාම අඩු වුණොත්, ආධාර අඩු වුණොත් එය බලපාන්නේ මේ රටේ ජනතාවටයි. එසේ නම් අපි රටේ ජනතාව ගැන සිතලා මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි බැලිය යුතුයි. රටේ ජනතාවට මෙය බලපානවා නම් ඒ වෙනුවෙන් කතා කිරීමට අපට අයිතියක් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා පත් කළ උපදේශක මණ්ඩලයේ වාර්තාව ලැබුණු විට ලංකා ආණ්ඩුව එය විවේචනය කර ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වුණේ මෙයට එකඟ වුණත් නොවුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. දැන් ජනාධිපති සහ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟත්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟත් සාකච්ඡා කරනවා.නමුත් තවම අපි එකඟත්වයකට මිණ නැහැ.

 අප ගන්නා පියවර කුමක්දැයි ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව එය ප්‍රකාශ කළ යුතුයි. එසේ ප්‍රකාශ නොකර තිබෙන නිසා තමයි අද මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. ලංකාව තුළ ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් එකට එකතු වී එකඟත්වයකට පැමිණ විසඳුමක් සෙවීම මේ ප්‍රශ්නයට ඇති හොඳම විසඳුම බව මගේ අදහසයි. අපට බාහිරින් විසඳුමක් සොයා දෙනවා ද නැත්නම් අප එකතු වෙලා මේ ප්‍රශ්නය ගැන විසඳුම් සොයා ගන්නවා ද යන විකල්ප දෙකෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය දෙන්නේ එකතුවෙලා විසඳුමක් සොයා ගැනීමටයි.

 දැනට ලංකාවේ ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කර දහතුන් වන සංශෝධනය තවත් ශක්තිමත් කොට එය ව්‍යාප්ත කිරීමට එකඟ වී තිබෙනවා. දැන් මේ ගැන පියවර ගැනීමට කාලය ඇවිත්. මේ ගැන ක්‍රියා නොකර වැඩි කල් ඉන්න බැහැ. එහෙම වුණොත් අපිට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගැටෙන්න සිදුවෙනවා. සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවත්, මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවත් පැවැත්වෙනවා. වෙනත් රටවල පාර්ලිමේන්තු තුළත් මේ ප්‍රශ්නය මතු කරන්නට පුළුවන්. මේ ගැන ක්‍රියා නොකළොත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා ඇමෙරිකානු ආණ්ඩුවත්, කොංග්‍රසයත් ප්‍රකාශ කළා.  අප සියලු දෙනාටම මේ ගැන අවධානය යොමු කර ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබෙනවා. අප මෙය අතපසු කළහොත් එහි විපාකය ලැබෙන්නේ ලංකාවේ ජනතාවටයි. අප සියලු දෙනාම එකතු වී විසඳුමක් ලබාදීම හොඳම ක්‍රමයයි. ඒ බව මම මහලේකම්තුමාටත් කිව්වා.

යුද්ධයේ අවසන් අවස්ථාවේදී වන්නියේ ජනතාවගෙන් කොටසක් මිය ගියා. වාර්තා අනුව එම සංඛ්‍යාව හතළිස්දාහක්. සමහරු කියනවා සංඛ්‍යාව ඊට වඩා අඩුයි කියලා. කෙසේ හෝ යම්කිසි ප්‍රමාණයක් මරුමුවට පත් වුණා. ඊට පෙර උතුරේ, දකුණේ, නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝ දෙනෙකුගේ ජීවිත නැති වී තිබෙනවා. ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයත් හමුදාවේ අයත්, සාමාන්‍ය ජනතාවත් සිටිනවා. එහෙනම් යුද්ධය ගැන කනගාටුව පළ කිරීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

දෙවනුව තිබෙන්නේ මේ සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි. දීර්ඝ කාලීන සාමය සඳහා දේශපාලනවිසඳුමක් අවශ්‍යයි. ආණ්ඩුවත් එය පිළිගෙන තිබෙනවා.

ඉන්දියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශනයේදී මේ ගැන සඳහන් කළේ ඒ නිසයි. එමෙන්ම ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟත් සාකච්ඡා ආරම්භ කර තියෙනවා. මා කියන්නේ ඒ සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසන් කළ යුතු බවයි. ඒ කණ්ඩායම් දෙක එකඟත්වයකට එන එකට අපි උදව් දෙන්න කැමතියි. ආණ්ඩුවත්, දෙමළ ජාතික සන්ධානයත් එකඟත්වයකට එනවා නම් ඊට පස්සේ තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. ඒකට සහභාගී වෙන එකත් අපිට ප්‍රශ්නයක් නැහැ.

 දෙවනුව මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් අදහස් දක්වන රනිල් වික්‍රමසිංහ මහතා තවත් කාරණා තුනක් සම්බන්ධයෙන් සිය අවධානය ඉහත ආකාරයට යොමු කරණු ලබනවා. එක්සත් ජාතික පක්ෂයේ උදවියම මෙය මහින්ද රාජපක්ෂගේ ගැටලුවක් පමණක් බවට ලඝු කරන්නට උත්සහ දැරීම 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්බෙන් වූ විසදුමක් සම්බන්ධයෙන් රජය ඉන්දියාව සමග ඇතිකර ගෙන තිබෙන එකගතාවය සහ යුද්ධයේ අවසාන කාර්තුවෙිදී මිය ගිය පුරවැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරු ලබා දීම යන කරුණු ඒවා වේ.

මෙයින් පළමු ගැටලුවට දැනටමත් පිළිතුරු ලැබී තිබේ. අද වන විට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ පවා මෙම ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් අවශ්‍ය බව පිළිගෙන අවසන්ය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කුහක කම්න් තොර දේශපාලන විවෙිචනයන් භාර ගැනීමට තමන් සූදානම් බව පැවසීමත් සජිත් ප්‍රේමදාස මහතා මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් සාධනීය අයුර්න් කථා කිරීමත් නිසා සියලු නායකයින් හරිම පීල්ලට පැමිණ තිබෙන බව පෙනෙන්ට තිබේ. මේ නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ගැටලුවක් තිබිය නොහැකි බව කිව හැකිය. දහතුන් වන සංශෝධනයට එහා ගිය විසදුමක් පිළිබදව වූ කතිකාවටද අමරසේකරලාගේ පාර්ශවයෙන් හැරුණු කොට වෙනත් දැඩි විරෝධයක් දක්නට නොලැබ්. අනෙක් අතට ජී.එල් පීරිස් ඉන්දියාවට ගොස් කථාබස් කලේ ලංකාව නියෝජනය කරමින් විනා ඉන්දියාව නියෝජනය කරමින්ද නොවේ. ඉන්දියාව ලංකාව ඔවුන්ගේ තවත් ප්‍රාන්තයක් කර ගන්නට යනවාය යන සටන් පාඨයද දැන් යල් පැන ගිය සටන් පාඨයකි.  යුද්ධයේ අවසාන කාර්තුවෙිදී මිය ගිය පුරවැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරු ලබා දීම යන කාරණයේදී අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කිරීමෙන් මෙයට සෘජු පිළිතුරක් ලබා දිය හැකිය. අශෝක අධිරාජ්‍යයාගේ පටන් ලෝකයේ බොහෝ අවස්ථාවන් වලදී මේ කණගාටුව ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිතා කර තිබෙන නිසා එය මේ ගැටලුව ගෞරවනීය අයුරින් නිරාකරණය කර ගන්නට යොග්‍යතම ක්‍රමය බව පෙන්වා දිය හැකිය.

තුන්වෙනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් අපේ යුතුකමක්. යුද සමයකදී ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවෙනවා. මාධ්‍ය මර්දනය ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් සමඟ ඒ සීමා තාමත් තියෙනවා. මේ සියල්ලම ඉවත් කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇති නිදහස් සමාජයක් මේ රටේ ජනතාවට අප ලබාදිය යුතුයි. ත්‍රස්තවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට බෙදන්න බැරි නිසා ත්‍රස්තවාදයෙන් රට බෙදීමට ක්‍රියා කළා. එය පරාජය කළා කියන්නේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවීමයි. බලය බෙදාහැරීමෙන් සහ දහතුන් වන සංශෝධනය ශක්තිමත් කිරීමෙන් අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව මෙන්ම දකුණේ සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ සියලු දෙනාගේම බලාපොරොත්තුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති සමාජයක් නැවත ඇති කිරීමයි.

ඊළඟ මාස කිහිපය තුළදී මේ කරුණු තුන ගැන සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියහොත් දීර්ඝ කාලීන සාමයක් මේ රටේ ඇති කිරීමට මේ ප්‍රශ්නයට අප විසඳුමක් දී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට කීමට අපට පුළුවන් වෙනවා.

පසුගිය නව වැනිදා බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා ලංකාවට පැමිණ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පැවැත්වූවා. එහිදී ලියම් ෆොක්ස් මහතා සඳහන් කළ වචන කීපයක් මා මෙහිදී මතක් කරන්න කැමතියි.

“ලක්ෂ්මන් සහ මම ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමේ බලාපොරොත්තුව ගැන නිතර නිතර අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. අප දෙදෙනාම බෙදා හදා ගත් මතයක් වූයේ සාමය යනු යුද්ධයේ නිමාව පමණක් නොවන බවය. සැබෑ සාමය සඳහා තවත් ධනාත්මක ගුණාංග ගණනාවක් අවශ්‍යය. ඒ සඳහා බියෙන් නිදහස් වීම අවශ්‍යය. ජනමාධ්‍ය සමඟ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද අවශ්‍යය. නීත්‍යනුකූල ලෙස ප්‍රතිවිරුද්ධ මත දැරීමේ අයිතිය ද අවශ්‍යය. අර්බුදයට පාදක වූ හේතු සාධක මත අවධානය යොමු කරන සහ ශ්‍රී  ලාංකේය ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි ගැන හා අභිලාසයන් සලකා බැලෙන දේශපාලන විසඳුමක් ද අවශ්‍යය.” යනුවෙන් එතුමා සඳහන් කළා.

මෙය ලක්ෂ්මන් කදිරගාමර්ගේ හා ලියම් ෆොක්ස්ගේ පමණක් නොව මගෙත් බලාපොරොත්තුවයි. මෙය එක්සත් ජාතික පක්ෂයෙත් මේ රටේ බහුතර ජනතාවගේත් බලාපොරොත්තුවයි. අපට මේ අනුව ඉක්මනින්ම ක්‍රියාකළ හැකි නම් රටට වන විශාල හානියක් නවත්වා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඊට අවශ්‍ය පරිසරය සකස් කර විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට නම් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව සාකච්ඡා කළ යුතුයි. දෙමළ සන්ධානය කියන්නේ මේ සාකච්ඡා තවත් ඉදිරියට යන්න නම් ඔවුන් ඉදිරිපත් කරල තියෙන ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලබා දෙන්න කියලයි. යම් එකඟත්වයක් එතනින් ඇතිවෙනවා නම් ඊළඟ පියවර ගන්න පුළුවන්. ඒ අනුව දෙමළ සන්ධානය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගී වෙනවා නම් අපටත් ඊට සහභාගී වන්නට අවශ්‍ය පසුබිමක් සැකසෙනවා.

එතනදී අපි දහතුන්වන සංශෝධනයට පමණක් සීමා විය යුතු නැහැ.  ලියම් ෆොක්ස් මැතිතුමා කිව්ව අන්දමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම ගැන අපිත් ක්‍රියා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය එයයි. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. අපි ඔක්කොම එකට එකතු වෙලා මෙයට විසඳුම් ලබා දුන්නොත් ගොඩ එන්න පුළුවන්. අපි විසඳුම් ලබා දෙන්නේ නැත්නම් මේ රටේ ආර්ථික ප්‍රශ්න වැඩිවෙලා, ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙලා, මේ රටේ තරුණයන්ගේ අනාගතය නැතිවෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාරණය ගැන බලලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා දීර්ඝ කාලීන සාමයකට වුවමනා දේශපාලන පදනම දමන්න ක්‍රියා කරමු.

 මෙම කරුණු දැක්වීම රනිල් වික්‍රමසිංහ මහතා නිමා කරනු ලබන්නේ මේ ආකාරයෙනි.

මෙයින් ඉදිරියට මේ ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම පැවරෙන්නේ දේශපාලන පක්ෂ හා සංවිධාන වලටය. තවදුරටත් දකුණට නොමැති උතුරට පමණක් ඇති ප්‍රශ්ණය කුමක්දැයි අසමින් සිටිනවාද නැත්නම් ප්‍රශ්ණයට අපිම පිළිතුරක් සොයනවාද යන්න මනා සිහිබුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරු සොයන්නට ඉඩ දී බලා සිටිනවාට වඩා අපි අපිම මෙයට පිළිතුරු සෙවීම වඩා ප්‍රසස්ථ බව කිවයුතුය.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s