පළාත් සභාවලට නොදී ඉඩම් බලතල විදේශිකයන්ට දෙමු

 

ගාලූ මුවදොර ඉඩම් ශැන්ග‍්‍රිලා සහ කැටික් සමාගමට පැවරීමේ ගනුදෙනුව මුළුමනින්ම අවසන් වී නොමැති බවත්, ඒ නිසා ගනුදෙනුව සඳහා රජය ඉදිරිපත් කළ මුළු වටිනාකම මේ දක්වා රජයට ලැබී නොමැති බවත්, ඊට හේතුව රජය අදියරෙන් අදියර මෙම ඉඩම ආයෝජකයින්ට මුදා හරින නිසා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රට පුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර, එහිදී රාවය පුවත්පතේ මාධ්‍යවේදියා මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇත.

එහිදී බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

ගාලූමුවදොර පිහිටා තිබෙන අක්කර 47ක භූමිය තුළ ශැන්ග‍්‍රිලා සහ කැටික් සමාගම් සංචාරක හෝටල් ඉදිකිරීමට අදාළ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඉතිරි බිම්කොටස් සඳහා ඉන්දියානු ආයෝජකයන් කැමැත්ත පළ කර තියෙනවා. කිසිදු ඉඩමක් මුළුමුනින්ම අදාළ සමාගම් වෙත නිදහස් කර නැහැ. ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉඩම මුදා හැරීමේ ක‍්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. නිදසුනක් ලෙසට ශැන්ග‍්‍රිලා සමාගමට අක්කර 10ක් දෙනවානම් මුල් අදියරේදී නිදහස් කරන්නේ අක්කර 05ක් පමණයි.

‘‘ආයෝජන සඳහා ඉඩම් ලබාදීමේදී තිබෙන නීත්‍යානුකූල ක‍්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ඒ සඳහා ලබා ගත හැකි උපරිම වටිනාකම ලබා ගැනීම තමයි රජයේ අපේක්‍ෂාව. ගාලූමුවදොර වුවත් ශැන්ග‍්‍රිලා සමාගමට ඩොලර් මිලියන 125කට ඉඩම් ලබා දෙන විට යාබද ඉඩම කැටික් සමාගමට ලබා දුන්නේ ඩොලර් මිලියන 136කට. ඒ ආකාරයට උපරිම වටිනාකම ලබා ගැනීමට කටයුතු කරනවා. ’’

ඉහතින් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් ව්දේශික සමාගම් වලට විකිණීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය දැනුවත් කරමින් කරනු ලැබු ප්‍රකාශයයි. පහතින් දක්වා තිබෙන්නේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථිව සහ පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබා දීමට එරෙහිව කරනු ලැබ තිබෙන ප්‍රකාශයයි.

13 වන සංශෝධනයේ අහිතකර බලපෑම් පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරුණු දැක්වීමට  සූදානම් බව ජාතික හෙළ උරුමයේ  ප‍්‍රතිපත්ති සම්පාදක උදය ගම්මන්පිල මහතා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශ කර තිබේ.

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබා නොදිමට පියවර ගත යුතු බව සදහන් කර ඇති ගම්මන්පිල මහතා  13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හානිකර අන්දමින් බලපෑ ඇති ආකාරය පිළිබඳ තේරීම්කාරක සභාව හමුවේ කරුණු දක්වන බවද පවසා ඇත.

අනෙකුත් දේශපාලන පක්ෂවල මතවලට සවන්දීමට  සූදානම් බවද ගම්මන්පිල මහතා එහිදී අවධාරණය කර තිබේ’

බැලු බැල්මටම මේ ප්‍රකාශයන් දෙක එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් යැයි බොහෝ දෙනෙකු කියනු ඇත. නමුත් සවිඥාණිකව කල්පනා කර බැලීමේ දී මෙම ප්‍රකාශයන් දෙක එකිනෙකට සමපාත කරන්නට පුලුවන. ගම්මන් පිල සිය ප්‍රකාශයෙන් ඉඩමි හා පොලිස් බලතල පළාත් සභා වලට පවරනවාට තමන් එකහෙලා විරුද්ධ බව ප්‍රකාශ කරණු ලබන අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධාන පවසන්නේත් කිනම් ආකාරයෙන් බලය බෙදුවත් පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට පවරනවාට තමන් දැඩ් සේ විරුද්ධ බවයි.

මෙයින් ගම්‍යමාන වන්නේ මධ්‍යම ආණුඩුවේ බැටන් පොල්ලෙන්ම තමන්ට ගුටි කන්නට අවශ්‍ය වන බවයි. පොලිස් බලතල මධ්‍යගත වීමෙන් හෝ විම්‍යධ්‍යගත කිරීමෙන් සිදුවන වෙනස කමක්ද? පොලිස් බලතල පළාත් සභාවන්ට පවරණු ලැබුවා යැයි නිකමට සිතමු. එමගින් රට බෙදීමට හෝ පළාත් පොලීසි විසින් මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් පැහැර ගැනීමක් හෝ සිදු නොවේ. පොලීසිය මධ්‍යම ආණඩුවෙි පාලනය යටතේ තිබුනත් පළාත් සභා පාලනය යටතේ තිබුනත් පොලීසියෙන් අපේක්ෂිත කාර්ය භාර්ය වන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි. පොලීසිය සිවිල් ජන ජීවිතයට අදාල කටයුතු පරිපාලනය කරණු ලබන දෙපාර්ථමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා එයට ඇත්තේ සිවිල් බලයක් මිස හමුදාමය බලයක් නොවේ. පොලීසිය පලාත් සභා යටතට පත් කරණු ලැබුවත් යම් අවස්ථාවක පොලීසිය යුධ කටයුතු සදහා අනියුක්ත කරණු ලබන්නේ නමි එය මධ්‍යම ආණ්ඩුවත් සමග එකගතාවයකින් පසුව කළයුතු බවට වූ වගන්තියක් එක් කරමින් පොලිස් බලතල පළාත් සභා වලට පවරණු ලැබිය හැකිය. නමුත් සැබැවින්ම මේ මොහොතේ සාකච්ඡාවට බදුන් විය යුත්තේ පොලිස් සේවය තවදුරටත් මධ්‍යගතවම තබනවාද නැත්නම් විමධ්‍යගතකරණවාද යන කාරණටය වඩා මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබදවය. පොලිස් බලතල මධ්‍යගතව තිබීමෙන් මේ රටේ බෙදුම්වාදය පරාජය කරන්නට හැකි වෙතැයි යමෙකු හිතනවා නම් එය මිත්‍යාවකි. බෙදුමිවාදය හෝ ත්‍රස්තවාදය සමග පොලිස් සේවයේ බලතල සෘජුව සම්බන්ධ වන ආකාරය සමහරක් විට දීර්ග වශයෙන් තර්ක කරමින් ඉදිරිපත් කරන්නට මෙම බලතල විමධ්‍යගත කරනවාට විරුද්ධ වන අයට හැකිවනු ඇත. නමුත් මේ රටේ ජනවාර්ගික ගැටලුවට විසදුම් උදෙසා බලය බෙදීමේ වැඩ පිළිවෙලක් ක්‍රීයාත්මක කිරීමේ දී පොලිස් බලතල යන්න ප්‍රබල සාධකයක් බවට පත්කර ගන්නට අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ පැහැදිලි බලය බෙදීමක් මගින් සැමට සාධාරණ පිළිතුරක් සෙවීම පමණි. පොලිස් බලතල බෑ යනුවෙන් තවදුරටත් කෑමොර දීමෙන් පලක් වන්නේ නැත. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමෙන් සිදුවන තාර්කිකම ප්‍රතිඑලය වන්නේ මෙතෙක් මධ්‍යම ආණ්ඩුවේ බැටන් පොල්ලෙන් ගුටි කෑ මිනිසුන්ට සිය පළාතේ පොලු වලන්ම ගුටි කන්නට සිදු වීම පමණි. මෙි නිසා පොලීසිය විනය ගරුක වෘත්තීකභාවයකට පත් නොකොට මධ්‍යම ආණ්ඩුව යටතේ වෙිවා පළාත් සභා යටතේ වෙිවා කොහොම ක්‍රියාත්මක වුවත් ඉන් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ස්ථාපිත කරන්නට ලැබෙන පිටු වහලක් නැත.

පළාත් සභා වලට ඉඩමි බලතල ලබා දෙනවාටද මෙි වන විට දේශහිතයිෂීන් යැයි තමන්ම කියා ගන්නා අය විසින් සිය විරෝධය දක්වමින් සිටියි. මෙම විරෝධතාවයට හේතුව වශයෙන් ඔවුන් දක්වනු ලබන්නේ රටක ඉඩම් යනු එරට තිබෙන වටිනාම සමිපත වන නිසා එය මධ්‍යම රජය යටතේම තබාගත යුත්තේ එම බලය කේන්දායේ සිට පර්යන්තය දක්වා විමධ්‍යගත කිරීමෙන් ඉඩම් වල අයිතිය නැතිව යා හැකි බැවිනි. රට බෙදනවා යන්න සංකේතීයව සිදුවන්නේද භෞතිකව සීමා මායිම් පනවා ඉඩම් පිළිබද අයිතිය බෙදා ගැනීම මගින් වන නිසා රටක ඉඩම් කැමති් කෙනෙකුට කැමති පරිදි භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බව අපිද පිළිගන්නෙමු.

නමුත් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දෙනවාට මාරාන්තිකව විරෝධය දක්වන මේ දේශහිතයිෂී උපාසක මහත්වරුන් ආ්ණ්ඩුව සුද්දන්ට මෙරට ඉඩම් සින්නක්කරව ලියා දෙන ගනුදෙනු සම්බන්ධයෙන් කටෙන් කෙල බිදක් නොහෙලන්නට වග බලා ගනී.

මේ වන විටත් කොළඹ ගාල්ල වැනි නගර වල ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම පාහේ තිබෙනනේ විදේශිකයන් අතේය. සංකේතීයව රට දියුණු වෙනවා ආයෝජකයින් මෙරටට එනවා ඔන්න දැන් ආශ්චර්ය සිදු වෙනවා යැයි බොරු පුරසාරම් දෙඩුවත් ඇත්තටම සිදු වන්නේ කුණු කොල්ලයට මෙරට ඉඩමි  විදේශිකයන් අතට පත් වීම පමණි.

කාලයක් ගතවන විට මේ නගර වල අහස උසට ගොඩනැගිලි ඉදිවී රට දියුණුවට ගමන් කර්නවා යැයි පෙනෙන්ට තිබුනත් ඒ වන විටත් මෙරට වටිනාම ඉඩම් වල හිමිකරුවන් විදේශිකයන් වී හමාරය. අඩුම තරමේ ඉඩමි බලතල පළාත් සභා වලට පවරා දී මෙන් ඇමතිවරුන්ට අවැසි පරිදි ඉඩම් විකුණන්නට තිබෙන අවස්ථාව ඇහීරී අදාල පළාතේ සංවර්ධනයට සමගාමීව ඉඩම් වල අයිතිය පළාත් සභා වල පාලනය යටතේම තබා ගන්නටවත් හැකියා තිබිණි.

නමුත් දැන් සිදුවන්නේ කුමක්ද? මෙිවා මෙි දේශහිතයිෂී මහත්වරුන් නොදැන ඉන්නට බබාලා නොවේ. මොවුන්ගේ මේ පළාත් සභා වලට බලතල ලබා දෙනවාට එරෙහිව නැග එන්නේ අන්යමක් නොව මොවුන් තුල සදාතනිකව බුර බුරා නැගෙන දෙමල විරෝධයයි. තමන් මෙතෙක් තනිව භුක්ති විදි විනොදය දෙමලා සොරා ගනු ඇතැයි යන බියෙන් මොවුන් පසුවේ. මේ නිසා තමන්ගේ විනොදය දෙමලාට පැහැර ගන්නට ඉඩ නොදෙමු යැයි මොවුන් අවිඥාණිකව ප්‍රෘර්ථනා කරයි. මෙය හුදු දෙමල විරෝධය නිසා පැනනගින සංසිද්ධියක් විනා ඇත්තටම රටට ආදරයෙන් කරණු ලබන ප්‍රකාශයක් නොවන බව පැහැදිලිය. විදේශිකයන්ට ඉඩම් විකුණද්දී බකන් නිලාගෙන සිටින මේ ජාතිකවාදීන්ගේ පළාත් සභා වලට ඉඩමි පොලිස් බලතල එපා යැයි යන විරෝධය හුදු සිය පැවැත්ම උදෙසා කරණු ලබන ආත්මාර්ථකාමී ප්‍රකැශයක් විනා වෙන යමක් නොවන බව අපගේ අවසන් නිගමනයයි.

1 Comment

  1. තියෙන දේවල් විකුනල හරි ප්ලේස් එක රැක ගන්න එක තමා මේ ක්‍රමය..


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s