කෝපී දේශපාලනය මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (www.3mana.com)

මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර කියවා බලා ඒ පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීම ප්‍රායෝගික යැයි සිතමි.

විරුද්ධ පක්ෂ එක්ක කතා කළ හැකි ඉඩක් හැදීම ආණ්ඩුවේ වගකීමයි රනිල් වික්‍රමසිංහ වී.ඒ. සුගතදාස සමරු උලෙළේදී කියයි

මේ සතියේ මම නිව්යෝර්ක් නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා මුණ ගැසුණා. අද ලංකාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් අතර ඇති වී තිබෙන ප්‍රශ්නය පිළිබඳව එතුමාගේ තක්සේරුව වූයේ මේ වන විට ලංකාව ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇති බවත් මේ ප්‍රශ්නය අප විසඳා ගන්නා තුරු ලංකාව එම න්‍යාය පත්‍රයේ තිබෙනු ඇති බවත්ය. ඒ අදහසට මමත් එකඟයි.

යුද්ධයේ අවසන් කාලයේදී වන්නියේ මිනිසුන් මරණයට පත් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට 2009 මැයි මාසයේ බෑන් කී මූන් මහතා ලංකාවට ආවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීමටත්, දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමටත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කෙරෙන පියවර ගැනීමටත් එදා ආණ්ඩුවත් බෑන් කී මූන් මහතාත් එකඟ වුණා. ඒ ප්‍රකාශයෙන් අවුරුද්දකට පසුවත් ලංකා ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව ජාත්‍යන්තරයේ රටවල් ගණනාවක් චෝදනා කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට බෑන් කී මූන් මහතා ඒ පිළිබඳව සොයා බලන්න කණ්ඩායමක් පත් කළා. ඒ කණ්ඩායමේ වාර්තාව ලැබුණු පසු තමයි ලංකාව ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අද විශාල ප්‍රශ්නයක් ඇති වී තියෙන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාවේ වැඩ කටයුතු මෙහෙයවන රටවල් ගණනාවක් තියෙනවා. අපි මේ රටවල් සමඟ හැප්පෙනව ද නැත්නම් එකට එකතු වෙලා වැඩ කරනවා ද කියන එක තමයි ප්‍රශ්නය. අපේ රටේ සමහරු කියනවා ලෝකය අමතක කරලා අපි අපේ වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒත් ඒ පිළිතුරෙන් අපට බේරෙන්න බැහැ. අද මේ රටේ ආර්ථිකය දුවන්නේ විශේෂයෙන්ම යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළුව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු නිසා සහ ජපානය වැනි රටවලින් ලැබෙන ආධාර නිසායි. යුරෝපය සහ ඇමෙරිකාව සමඟ අපේ වෙළෙඳාම අඩු වුණොත්, අපට ලැබෙන ආධාර අඩු වුණොත් ඒක මේ රටට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

අපේ පාක්ෂිකයන් කීප දෙනෙක්ම ඇහුවා මේක මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නිසා එයාටම මේක විසඳගන්න අරින්නේ නැතුව අපි මොනවටද මෙතනට එකතු වෙන්නේ කියලා. ප්‍රශ්නෙ ඇති වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේයි. ප්‍රශ්නේ නිසා ඇතිවන විපාක ආණ්ඩුවට විතරක් සීමා වෙනවා නම්  අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අවාසනාවට ආණ්ඩුව අරගෙන තියෙන මේ පියවර තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් ඒකේ විපාක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. දැනටම පිටරට යන්න වීසා ගන්න අමාරුයි. පිටරටින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. රටේ කීර්ති නාමය ගැන විශාල ප්‍රශ්න ඇතිවෙලා. යුරෝපය සහ ඇමෙරිකාව ලංකාව සමඟ පවතින වෙළෙඳාම අඩු වුණොත්, ආධාර අඩු වුණොත් එය බලපාන්නේ මේ රටේ ජනතාවටයි. එසේ නම් අපි රටේ ජනතාව ගැන සිතලා මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි බැලිය යුතුයි. රටේ ජනතාවට මෙය බලපානවා නම් ඒ වෙනුවෙන් කතා කිරීමට අපට අයිතියක් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා පත් කළ උපදේශක මණ්ඩලයේ වාර්තාව ලැබුණු විට ලංකා ආණ්ඩුව එය විවේචනය කර ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වුණේ මෙයට එකඟ වුණත් නොවුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. දැන් ජනාධිපති සහ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟත්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟත් සාකච්ඡා කරනවා.

නමුත් තවම අපි එකඟත්වයකට පැමිණ නැහැ. අප ගන්නා පියවර කුමක්දැයි ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව එය ප්‍රකාශ කළ යුතුයි. එසේ ප්‍රකාශ නොකර තිබෙන නිසා තමයි අද මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. ලංකාව තුළ ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් එකට එකතු වී එකඟත්වයකට පැමිණ විසඳුමක් සෙවීම මේ ප්‍රශ්නයට ඇති හොඳම විසඳුම බව මගේ අදහසයි. අපට බාහිරින් විසඳුමක් සොයා දෙනවා ද නැත්නම් අප එකතු වෙලා මේ ප්‍රශ්නය ගැන විසඳුම් සොයා ගන්නවා ද යන විකල්ප දෙකෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය දෙන්නේ එකතුවෙලා විසඳුමක් සොයා ගැනීමටයි.

දැනට ලංකාවේ ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කර දහතුන් වන සංශෝධනය තවත් ශක්තිමත් කොට එය ව්‍යාප්ත කිරීමට එකඟ වී තිබෙනවා. දැන් මේ ගැන පියවර ගැනීමට කාලය ඇවිත්. මේ ගැන ක්‍රියා නොකර වැඩි කල් ඉන්න බැහැ. එහෙම වුණොත් අපිට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගැටෙන්න සිදුවෙනවා. සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවත්, මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවත් පැවැත්වෙනවා. වෙනත් රටවල පාර්ලිමේන්තු තුළත් මේ ප්‍රශ්නය මතු කරන්නට පුළුවන්. මේ ගැන ක්‍රියා නොකළොත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා ඇමෙරිකානු ආණ්ඩුවත්, කොංග්‍රසයත් ප්‍රකාශ කළා.  අප සියලු දෙනාටම මේ ගැන අවධානය යොමු කර ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබෙනවා. අප මෙය අතපසු කළහොත් එහි විපාකය ලැබෙන්නේ ලංකාවේ ජනතාවටයි. අප සියලු දෙනාම එකතු වී විසඳුමක් ලබාදීම හොඳම ක්‍රමයයි. ඒ බව මම මහලේකම්තුමාටත් කිව්වා.

යුද්ධයේ අවසන් අවස්ථාවේදී වන්නියේ ජනතාවගෙන් කොටසක් මිය ගියා. වාර්තා අනුව එම සංඛ්‍යාව හතළිස්දාහක්. සමහරු කියනවා සංඛ්‍යාව ඊට වඩා අඩුයි කියලා. කෙසේ හෝ යම්කිසි ප්‍රමාණයක් මරුමුවට පත් වුණා. ඊට පෙර උතුරේ, දකුණේ, නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝ දෙනෙකුගේ ජීවිත නැති වී තිබෙනවා. ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයත් හමුදාවේ අයත්, සාමාන්‍ය ජනතාවත් සිටිනවා. එහෙනම් යුද්ධය ගැන කනගාටුව පළ කිරීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

දෙවනුව තිබෙන්නේ මේ සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි. දීර්ඝ කාලීන සාමය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ආණ්ඩුවත් එය පිළිගෙන තිබෙනවා. ඉන්දියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශනයේදී මේ ගැන සඳහන් කළේ ඒ නිසයි. එමෙන්ම ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟත් සාකච්ඡා ආරම්භ කර තියෙනවා. මා කියන්නේ ඒ සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසන් කළ යුතු බවයි. ඒ කණ්ඩායම් දෙක එකඟත්වයකට එන එකට අපි උදව් දෙන්න කැමතියි. ආණ්ඩුවත්, දෙමළ ජාතික සන්ධානයත් එකඟත්වයකට එනවා නම් ඊට පස්සේ තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. ඒකට සහභාගී වෙන එකත් අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් අපේ යුතුකමක්. යුද සමයකදී ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවෙනවා. මාධ්‍ය මර්දනය ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් සමඟ ඒ සීමා තාමත් තියෙනවා. මේ සියල්ලම ඉවත් කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇති නිදහස් සමාජයක් මේ රටේ ජනතාවට අප ලබාදිය යුතුයි. ත්‍රස්තවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට බෙදන්න බැරි නිසා ත්‍රස්තවාදයෙන් රට බෙදීමට ක්‍රියා කළා. එය පරාජය කළා කියන්නේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවීමයි. බලය බෙදාහැරීමෙන් සහ දහතුන් වන සංශෝධනය ශක්තිමත් කිරීමෙන් අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව මෙන්ම දකුණේ සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ සියලු දෙනාගේම බලාපොරොත්තුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති සමාජයක් නැවත ඇති කිරීමයි.

ඊළඟ මාස කිහිපය තුළදී මේ කරුණු තුන ගැන සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියහොත් දීර්ඝ කාලීන සාමයක් මේ රටේ ඇති කිරීමට මේ ප්‍රශ්නයට අප විසඳුමක් දී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට කීමට අපට පුළුවන් වෙනවා.

පසුගිය නව වැනිදා බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා ලංකාවට පැමිණ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පැවැත්වූවා. එහිදී ලියම් ෆොක්ස් මහතා සඳහන් කළ වචන කීපයක් මා මෙහිදී මතක් කරන්න කැමතියි.

“ලක්ෂ්මන් සහ මම ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමේ බලාපොරොත්තුව ගැන නිතර නිතර අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. අප දෙදෙනාම බෙදා හදා ගත් මතයක් වූයේ සාමය යනු යුද්ධයේ නිමාව පමණක් නොවන බවය. සැබෑ සාමය සඳහා තවත් ධනාත්මක ගුණාංග ගණනාවක් අවශ්‍යය. ඒ සඳහා බියෙන් නිදහස් වීම අවශ්‍යය. ජනමාධ්‍ය සමඟ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද අවශ්‍යය. නීත්‍යනුකූල ලෙස ප්‍රතිවිරුද්ධ මත දැරීමේ අයිතිය ද අවශ්‍යය. අර්බුදයට පාදක වූ හේතු සාධක මත අවධානය යොමු කරන සහ ශ්‍රී  ලාංකේය ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි ගැන හා අභිලාසයන් සලකා බැලෙන දේශපාලන විසඳුමක් ද අවශ්‍යය.” යනුවෙන් එතුමා සඳහන් කළා.

මෙය ලක්ෂ්මන් කදිරගාමර්ගේ හා ලියම් ෆොක්ස්ගේ පමණක් නොව මගෙත් බලාපොරොත්තුවයි. මෙය එක්සත් ජාතික පක්ෂයෙත් මේ රටේ බහුතර ජනතාවගේත් බලාපොරොත්තුවයි. අපට මේ අනුව ඉක්මනින්ම ක්‍රියාකළ හැකි නම් රටට වන විශාල හානියක් නවත්වා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඊට අවශ්‍ය පරිසරය සකස් කර විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට නම් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව සාකච්ඡා කළ යුතුයි. දෙමළ සන්ධානය කියන්නේ මේ සාකච්ඡා තවත් ඉදිරියට යන්න නම් ඔවුන් ඉදිරිපත් කරල තියෙන ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලබා දෙන්න කියලයි. යම් එකඟත්වයක් එතනින් ඇතිවෙනවා නම් ඊළඟ පියවර ගන්න පුළුවන්. ඒ අනුව දෙමළ සන්ධානය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගී වෙනවා නම් අපටත් ඊට සහභාගී වන්නට අවශ්‍ය පසුබිමක් සැකසෙනවා.

එතනදී අපි දහතුන්වන සංශෝධනයට පමණක් සීමා විය යුතු නැහැ.  ලියම් ෆොක්ස් මැතිතුමා කිව්ව අන්දමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම ගැන අපිත් ක්‍රියා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය එයයි. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. අපි ඔක්කොම එකට එකතු වෙලා මෙයට විසඳුම් ලබා දුන්නොත් ගොඩ එන්න පුළුවන්. අපි විසඳුම් ලබා දෙන්නේ නැත්නම් මේ රටේ ආර්ථික ප්‍රශ්න වැඩිවෙලා, ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙලා, මේ රටේ තරුණයන්ගේ අනාගතය නැතිවෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාරණය ගැන බලලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා දීර්ඝ කාලීන සාමයකට වුවමනා දේශපාලන පදනම දමන්න ක්‍රියා කරමු.

 

කෝපි දේශපාලනය ඉදිරියටම…………….(2011/07/17 ලංකා ඉරිදා සංග්‍රහය )

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජූලි 06 වැනිදා නිව්යෝක්හි දී එක්සත් ජාතින්ගේ මහලේඛම් බෑන් කී මූන් හමුවිමෙන් පසුව දක්වා ඇත් අදහස් සැලකිල්ලට ගත යුතුව තිබේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායකයා සුපුරුදු “සහයෝගිතා දේශපාලනය” අත්නොහැර පවත්වාගෙන යන්නට සුදානම්ය.

සහයෝගිතා දේශපාලනය

මූන් හමුවිමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ නිවේදනයකින් කියවුණේ ද එම අදහසමය. එහි සඳහන්වන ආකාරයට,

“පසුගිය කාලයේ අප පසුකළ කනගාටුදායක හා අනතුරුදායක සාමය අවබෝධ කරගෙන සාමය සහ සංහිඳියාව සඳහා කැප විය යුතුය.එක්සත් බව ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරිම බලය බෙදාහදා ගැනිම, සමානාත්මතාවය හා සියලු ජන වර්ගයන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරිම පදනම් කරගත් ජාති එකඟතාවක් නිර්මාණය කිරිමට අවශ්‍ය පරිසරය සැකසැම ඔස්සේ ශ්‍රී ලංකවේ කිර්තිනාමය සහ ජාත්‍යන්තර ප්‍රතිරුපය ආරක්ෂා කරගැනිමට ලංකාවේ සියලුදෙනා එක්ව ක්‍රියාකිරිම හොඳම විසඳුම බව” එහිදි විපක්ෂ නායකයා අවධාරණය කර තිබේ. සියලු ප්‍රජාත්‍රන්ත විරෝධි ක්‍රියාකාරකම් මැද, වංචා, දුෂණ හා බලහත්කාරී තීන්දු හා විරුද්ධ මතධාරින්ට එරෙහිවමුදාහැර තිබෙන මර්දනකාරීත්වය මැද විපක්ෂ නායකයා කතාකරන්නේ එසේය. අමරෙකානු සංචාරයෙන් පසු මෙරටට පැමිණි වික්‍රමසිංහ මහතා ජූලි 10 වැනිදා සුගතදාස අනුස්මරණ රැස්විමකට වෙමින් ද මෙසේ ද කියා සිටියේය.

“ලංකාව දැන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වෙලා තියෙන්නේ. අපි මේක විසඳගන්නකම් ලංකාව ඒ න්‍යායපත්‍රයේම තියේවි. ඒක නැතිවෙන්නේ නෑ කියා කීවා. දැන්, අපේ රටෙි කීර්තිනාමය ගැන විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා. ලංකාවයි යුරෝපයයි අමෙරිකාවයි අතර තියෙන වෙළෙඳාම අඩුවුනොත් ඒක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. විශාල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මට පේන හැටියට මේ ප්‍රශ්නෙට තියෙන හෙඳම විසඳුම, හෙඳම විකල්පය  තමයි ලංකාව තුළදී ආණ්ඩුවත් විපක්ෂයත් එකට එකතුවෙලා එකඟත්වයකට පැමිණිලා විසඳුමක් සොයන එක”

රනිල් වික්‍රමසිංහ කෙසේවෙතත් එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් මෙහිදී සලකා බැලිය යුතුවන්නේ ආණ්ඩුවට සහයෝගය දෙනවාද නැද්ද යන්න නොව, තම පක්ෂයේ නායකයාම කියන මේ සහයෝගිතාවය ලබාදෙන්නට ආණ්ඩුවට ඇත්තේ කුමන සුදුසුකම්ද? යන්න ගැනය.විශේෂයෙන්ම රනිල් විසින් පසුගිය කාලයේ පවත්වාගෙන ගිය “කෝපි කෝප්ප දේශපාලනයෙන්” රටේ ජනතාවට හෝ එක්සත් ජාතික පක්ෂයට ලැබි ඇති ජයග්‍රහණ ඇත්දැයි විමසා බැලිය යුතුය. දේශපාලන පක්ෂයක් ලෙස අර්බුදයේ ගිලී සිටින අවස්ථාවේ එබඳු සහයෝගය ප්‍රදානය කිරිමක් තේරුම්ගත හැක්කේ දුබලකමක් ලෙසය.ආණ්ඩුවේ තිරණ නිසා විශේෂයෙන්ම‛හෙජීන්’ සිදුවිම, විදුලිය කප්පාදුව, පොහොර සහන කප්පාදුව හා ජිවන වියදම ඉහළයාම හමුවේ වැටුප් වැඩි නොකිරිම වැනි සාදකවලින් මේ වන විට පෙනි යන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. හැරත් තම පාක්ෂිකයන්ට ගම් මට්ටමේන් දිගින් දිගටම පහර දෙන, ආණ්ඩුවේ පිළිවෙතට එරෙහිව හඬ නගනු වෙනුවට ආණ්ඩුවට පහර වදින අවස්ථාවල සහයට යාම ‛නිවටකම’ වශයෙන් විනා අන් කුමන ආකාරයෙන්වත් සාධාරණිකරණය කළ නොහැකිය.

 

මහින්දගේ දේශපාලන විසඳුම

ආණ්ඩුව විසින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට දේශපාලන විසඳුමක් දීම ගැන කියමින් ‛පාර්ලිමේන්තු කාරක සභාවක්’ යෝජනා කරයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට වසර ගණනාවක් විවිධ දේශපාලන පක්ෂ සමඟ ගෙනගිය එවැනි ‛තිස්ස විතාරණ කමිටුව’හුදු කතා සාප්පුවක් වූ හැටි අමතක කරන්නට හැකි වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උග්‍ර මිතුරෙකුට හෝ සිහි බුද්ධිනැති අයකුට පමණි. එහෙත් දෙමළ සන්ධානයත් සමඟ කතාබහක් කෙරෙන්නේ ද යලට මහට එපා වාහෙට හොදි බෙදනා ආකාරයෙනි. ඒ අනුව ආණ්ඩුවට අවශ්‍යවන්නේද දෙමළ ජනතාවට සහන ලබා දිම නොව, කල් මැරිම බව නිසැකවම පැවසිය හැකිය. ඒ සඳහා, ගෙන ආ සීමාවන් ආණ්ඩුව විසින්ම උල්ලංඝනය කරමින් තිබේ. දෙමළ ජනතාවට යුද්ධයේ පීඩාවට පසුව මිලිටරිකරණයේ පීඩාව නිසාත් හා ප්‍රාදේශිය පාලනය බිඳවැටිමේ තත්වයන් නිසාත් ඇතිවන කරදර වර්ධනය වි තිබේ.‛තේරිම් කාරක සභාවකින්’ හෝ විපක්ෂය සමඟ කෙරෙන සාකච්චා විසින් එම මර්දනකාරිත්වය ලිහිල් වන්නේ ද නැත.

 

ප්‍රජාතන්ත්‍රවාදී මුහුණක් පෙන්වමින් අත්තනෝමතික ඒකාධිපතිත්වයක් ක්‍රියාවේ යොදවන ආණ්ඩුවට එරෙහිව ‛ශාන්තිවාදී’ පිළිවෙතක් ගෙනයාම රනිල්ගේ පෞද්ගලික පිළිවෙතක් වුවහොත් කිසිවකුට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් මේ කතාකරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ‛විපක්ෂ නායක’ ලෙෂ නම්කරනු ලැබූ පුද්ගලයාය. නව ලිබරල්වාදයේ දේශීය මුහුණුවර අලුත් වියයුතුව තිබේ. ආණ්ඩුව කුමක් කළත් අරලියගහ මන්දිරයට යමින් කෝපි පාලන කරමින් වික්‍රමසිංහ විසින් ගෙනයන මේ ‛දේශපාලන සංවාසය’ ජනතාවට ගෙන ආ යහපතක් නම් නැත. එයින් අවම වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයා සැනසීමට ඔහු අසමත් වී තිබේ. දිගින් දිගටම ජනතා විමික්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයටත් ආණ්ඩුව විවේචනය කරන වෙනත් ජාතික හා ප්‍රාදේශි දේශපාලනඥයන්ටත් හිරිහැර කරමින් ගෙනයන ආණ්ඩුවේ දේශපාලනය සමඟ සිහි බුද්ධිය ඇත්තකුට නම් කිසිදු සහයෝගයක් තිබිය නොහැකිය. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයෝගය පලකරන්නකු රටේ ජනතාවගේ පුළුල් දේශපාලන හිමිකම් වෙනුවෙන් ජයග්‍රහණ ලබාදෙතැයි විශ්වාස කළ නොහැකිය.

ජනතාවගේ පැත්තෙන් විවිධ ගැටලු රාශියකට එකවර මුහුණ දෙමින් තිබේ. බඩුමිල ඉහළ යාම හා වෙනත් ජීවන වියදම් ගැටලුවලට අමතරව විදුලිය කප්පාදුව, නියඟය හා හෙජින් අලාභය ගෙවීමට සිදුවීම ජනතාවට බලපාන ප්‍රශ්න වේ. මේ අතර ආසනික් කුමන්ත්‍රණය හරහා ගොවි ජනතාවට පොහොර සහනාධාරය අහිමිවීමේ තර්ජනයක් මතුවී තිබේ.

 පොහොර කප්පාදුව

මෙතෙක් අක්කරයකට දුන් පොහොර සහනාධාරයෙන් 20% ක් කප්පාදු කර ඒ වෙනුවට රුපියල් 1200 බැගින් වෙළෙඳපොළට පොහොර නිකුත් කර තිබේ. 2003 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනා අය-වැය මගින් පොහොර සහනාධාරය ඉවත් කරන්න උත්සහ කළ බව මෙහිදී අමතක කළ නොහැකිය. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ ගොවීන් සමඟ එකතුවී, කොළඹ කොටුවේ මාරාන්තික උපවාස කරමින් පොහොර සහනාධාරය ආරක්ෂා කරගනු ලැබිණි.

2005 මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියැවෙන ආකාරයට රුපියල් 350ට පෙහොර සහනාධාරය දෙමින් තිබියදීත් ගොවීන්ට අක්කරයකට පොහොර කිලෝ 25 – 50 අතර ප්‍රමාණයක් වෙනම මිලදී ගන්න සිදු විය. දැන් ආණ්ඩුව උත්සහ කරන්නේ පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත්කර විවෘත වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගන්නා තත්ත්වයට පත්කිරීමටය.

අද වනවිට වී ගොවියා විසින් කළ යුතු කෘෂිනාශක, වල්නාශක ආදී යොදවුම්වල මිල ගණන් 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ අනුව වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. එහෙත් වී මිල එසේම පවතින නිසා ගොවි ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැත. ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරන්නේ එවැනි තත්ත්වයක් තුළය. එපමණක් නොව, අකුරු භෝග න්‍ගාවන්ට පොහොර සහනාධාරය නොදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙසේ පොහොර සහනාධාරය කප්පාදු කරන්න හේතුව විදියට ආණ්ඩුව කියන්නේ පසේ රසායනික සාන්ද්‍රණය වෙනස්වීමය. දැනට ගණනය කර ඇති ආකාරයට වී වගා අක්කරයකින් වී කිලෝග්‍රූම් 2000ක් නිෂ්පාදනය කිරීමේදී පසෙන් නයිට්‍රජන් කිලෝ 40ක් පොටෑසියම් කිලෝ 30ක් හෝ 40ක්, පොස්පරස් කිලෝ 4-5 අතර ප්‍රමාණයක් ඉවත්වන නිසා ඒ ප්‍රමාණය නොකඩවා පසට ලැබිය යුතුය.

කෙසේවෙතත් පොහොර සහනාධාරය අහිමි කිරීමෙන් වී නිෂ්පාදනයත් ගොවි ජනතාවගේ ආර්ථික ස්වාධීනතාවයත් අහිමිකර දිගින් දිගටම සිදුවන ආකාරයට ගොවියා අසරණ තත්ත්වයෙන් මහමගට ඇදදැමීමේ ක්‍රියාවලිය ඉදිරියට යනු ඇත.

නිදහසට කරුණු

යුද්ධය තිබියදී ආණ්ඩුව කිව්වේ යුද්ධය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි බවය. රැකියා ප්‍රශ්නය, අඩු වැටුප්, ඉහළ යන බඩු මිල, සෞඛ්‍ය සේවයේ පිරිහීම, අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම ඇතුළු ජනතාවට දැනෙන බරපතළ ප්‍රශ්න විසදීමට නොහැකි වී ඇත්තේ යුද්ධයට යන වියදම නිසා බව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝ පුන පුනා ප්‍රකාශ කළහ. එහෙත් මේ වන විට යුද්ධය අවසන්කර අවුරුදු දෙකකට වැඩියෙන් ගෙවීගොස් තිබේ. යුද්ධයට ගිය කෝටි ගණන් මුදල් ඉතිරි වියයුතු නමුත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට තබා පැවැති තත්ත්වයෙන් පවත්වාගෙන යන්නටත් ආණ්ඩුව අසමත්ව සිටී.

ඒ අතරම ජනතාව මුහුණදෙන ඇතැම් ප්‍රශ්න විසඳන්න වැඩිපුර බලය අවශ්‍ය බවක් ආණ්ඩුවෙන් ප්‍රකාශ විය. විධායක ජනාධිපති බලය ශක්තිමත් කිරීමත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයත් අවශ්‍ය බව කීවේ ඒ නිසාය. මහමැතිවරණයේදී එසේ ඉල්ලා සිටි තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලැබුණේ නැතත් මන්ත්‍රීවරුන්ට වරදාන, වරප්‍රසාද දීලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාගනු ලැබිණි. එහෙත් තවමත් ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට හැකි වී නැත. මැතිවරණවලදී දුන් අත් පොරොන්දු කිසිවක් ඉටු කරන්නටද හැකි වී නැත.

දැන් ආණ්ඩුව විසින් හොර රහසේ විදුලිය කපමින් ජනතාව අසහනයට ඇද දමයි. පසුගිය ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කරනවිට ආණ්ඩුවෙ ඇමතිවරු ප්‍රකාශ කළේ නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ බලාගාර නිසා නැවත කිසිදිනක විදුලි කප්පාදු ඇති නොවන බව හා විදුලිය ඉන්දියාවට පවා අපනයනය කරන බවකි. එහෙත් දැන් ජනතාවට නොදන්වා විදුලි කප්පාදුකිරීම සිදුකරයි. සාමාන්‍යයෙන් විදුලිය ඇනහිටුවීමකට කලින් ඒබ ව ජනතාවට දැනුම් දියයුතුය. එහෙත් දැන් ජනතාවට කියු දේ වමාරාගන්නට නොහැකි නිසා ආණ්ඩුවට විදුලිය කැපීමට සිදුවන බවක් ප්‍රසිද්ධියේ කියන්නටවත් වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැත.

උතුරේ මිලිටරිකරණය

යුද්ධය අවසන්ව දෙවසරක් ගෙවී ඇතත් අදවනවිට උතුරේදී යුද්ධයේ පීඩාවට පත්වූ දෙමළ ජනතාව තවතවත් දුකට පත්වෙමින් සිටී. යුද්ධයට පෙර ජනතාව නිදහසේ ජීවත් වූ ඉඩම්වල හමුදා කඳවුරු ඉදිකෙරෙමින් තිබේ. හමුදාව විසින් ඇතැම් ඉඩම් අත්පත් කරගෙන ඒවා රජය කොටින්ගෙන් අත්පත් කරගත් ඉඩම්බව කියනු ලබයි. ඒවා දෙමළ ජනයාගේ නොවේයැයි පැවසීම කිසිසේත් සාධාරණ නොවේ. විශේෂයෙන්ම කිලිනොච්චිය නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන, ඉඩම්, නිවාස ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇත.

දැන් බලන විට වත්මන් තත්ත්වය නිසා දෙමළ ජනතාව කබලෙන් ලිපට වැටුණාක් මෙන් බරපතළය. කිලිනොච්චියේ කෝවිල් උත්සවයක් පැවැත්වුණි. එහිදී පාරම්පරික ආගමික සංකේතයක් ලෙස සැලකෙන ‛නන්දි’ කොඩිය ඔසවන ලදී. එහෙත් හමුදා සාමාජිකයන් ලෙස සැලකිය හැකි පිරිසක් එම කොඩිය ගලවාගෙන ගියෝය. කෝවිලක පවත්වන උත්සවයකදී ආගමික කොඩි ගලවාගෙන යන විට නම් එහි ඇත්තේ කවර නම් නිදහසක්දැයි විමසිය යුතුය.

යුද්ධයට පසුව සාමාන්‍ය පරිපාලනය ක්‍රියාත්මක නොකර හමුදා පාලනයක් පවත්වාගෙන යාමත් දෙමළ ජනතාව ආරක්ෂා කරන බව කියමින් ඔවුන් සතු නිදහස අවුරාලීමත් දිගටම සිදුවේ. දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුවට වරින්වර බලපෑම් කළ ද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයේ වෙනසක් සිදුව නැත. ආණ්ඩුවේ නායකයන් පවසන ආකාරයට ‛සාමය උදාකිරීමේ කෘතඥතාවය’ වෙනුවෙන් ජනතාව වත්මන් රාජපක්ෂ පාලනයේ වහලුන් වියයුතුයැයි අදහසක් ආණ්ඩුවට තිබේ. එහෙත් උතුරේ හෝ දකුණේ හෝ ජනතාව ඊට සූදානම් නැති බව පැහැදිලිය.

මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (2011/07/10 රාවය සමබිම පිටුව)

‛පුරවැසි අයිතිය’ විසින් ජූලි පස් වන දා කොළඹදී පැවැත්වූ ‛තොරතුරු හෙළිකරනු!’ සම්මන්ත්‍රණයේදී කතා කළ ජයතිලක කම්මැල්ලවීර මහතා එක්සත් ජාතික පක්ෂයට කියා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කරන තුරු බලා නොසිට  ‛තොරතුරු ලබා ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව තම මතය ඉදිරිපත් කොට සංවාදයකට ඉඩ සැලසුවා සේම ‛ජාතික ප්‍රශ්නය’ පිළිබඳව ද තම ස්ථාවරය හෙළිකරන ලෙසය. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද සභාවේ සිටියේය.

2001 දී පාර්ලිමේන්තු බලය ලබාගත් වහාම එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කොට සාම සාකච්ඡා ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ සම්පූර්ණ බලය ඇතිව නොව විපක්ෂය නියෝජනය කරන සර්වබලධාරී  ජනාධිපතිවරියක විධායක බලය පරිහරණය කරද්දීය. ඒ සටන් විරාම ගිවිසුම ඇති කර ගැනීම වෙනුවෙන් එ.ජා.ප. නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගෙවන්නට සිදු වූ දේශපාලන වන්දිය අති විශාලය. ගිවිසුම ගසන අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී සිටි ජී.එල්, මහින්ද සමරසිංහ, රාජිත, බන්ධුල, කෙහෙළිය සහ දැනට ආගිය අතක් නැතිව සිටින බෝගොල්ලාගම, හේමකුමාර සහ මිලින්ද ඇතුළු බොහෝ දෙනෙක් පසුව තම පුද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මහින්ද චින්තනවාදීන් බවට රූපාන්තරණය වී දෑත ශක්තිමත් කිරීමට යාම නිසා සටන් විරාම ගිවිසුමේ සම්පූර්ණ වගකීම වික්‍රමසිංහ මහතාගේ කරපිට පැටවිණි.

එවන් පසුබිමක් යටතේ තමන් විපක්ෂය විනාශ කිරීමට යොදාගත් ජාතිවාදී සටන් පාඨ තමාම වමාරා කමින් 13 වන සංශෝධනය මත පදනම් වී බලය බෙදන බවට ඉන්දියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශන නිකුත් කිරීමට ද ඉස්සර තමන් විසින් කොටි වලිගා යැයි අවලාද කළ දෙමළ ජාතික සංධානය සමඟ දේශපාලන විසඳුමක් ගැන සාකච්ඡා කිරීමට ද ආණ්ඩුවට සිදුවී ඇති මොහොතක මෙම තත්ත්වයෙන් ආණ්ඩුව ඇණ ගන්නා සැටි බලා ඉඳිමින් කාලකණ්ණි සතුටක් ලැබීමට විපක්ෂයට, විශේෂයෙන්ම එ.ජා.ප. යට ආසාවක් ඇති වීම සාධාරණය.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම තවදුරටත් ප්‍රමාද කිරීම කළ නොහැකි බව දැන දැනත්, විධායක බලය හිමි ජනාධිපති වශයෙන් තමා කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්නේ නැතිව, තමන්ට වාසිදායක තීරණ සියල්ල තම තනි මතයට ගනිමින් මේ ප්‍රශ්නය පමණක් පාර්ලිමේන්තුවට තල්ලු කොට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මුවා වී ජාම බේරා ගැනීමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කරන මොහොතේදී ආණ්ඩුව ස්වයං විනාශයකට පත්වන තුරු පැත්තකට වී බලා සිටීමට ආශාවක් විපක්ෂයට ඇති වීම ද තේරුම් ගත හැකි තත්ත්වයකි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මංගල සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පළමුව ආණ්ඩුවේ විසඳුම ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්තාව පදනම් කරගත හැකි බැවින් තමන් යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට  සහභාගී නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ ‛සැබෑ’ ප්‍රශ්න විසඳීමට අපොහොසත් වීම ගැන එක පැත්තකින් ආණ්ඩුවට දොස් පවරන අතර අනෙක් පැත්තෙන් බලය බෙදීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කියා සිටි අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරන බව ප්‍රකාශ කළේය.

තත්ත්වය මෙසේ තිබියදී අහක බලාගෙන සිටීමට ඕනෑ තරම් හේතු සාධක ඇතිවත්  එදා ජයතිලක කම්මැල්ලවීර මහතා කළ අභියෝගයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය උත්තරයක් දී ඇත. ඒ පසුගිය 10 වන ඉරිදා පැවති වී.ඒ. සුගතදාස ගුණ සමරු උත්සවයේදීය. ‛ලංකාව දැන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වී හමාර බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට පිටු පා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බව ද, ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ක්‍රියා කිරීම ආරම්භ කොට ඇති බව ද, එහිදී ආණ්ඩුව සහ විපක්ෂය එක්වී විසඳුමක් ඇති කරගත යුතු බවද, එයට සහාය දීමට තමා සූදානම් බව ද ඔහු ප්‍රකාශ කොට ඇත.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා දැනට ඉන්දියාව සමඟ එකඟ වී ඇති ආකාරයට 13 වන සංශෝධනය මත පදනම් වී බලය බෙදීමක් කළ යුතු බවත්, ඒ සඳහා ආණ්ඩුව සහ දෙමළ ජාතික සංධානය සමඟ පැවැත්වෙන සාකච්ඡා මගින් එකඟත්වයක් ඇති කරගත යුතු බවත්, එසේ පැමිණෙන එකඟතාවයට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

පුරුෂ වර්ගවාදී ග්‍රාම්‍ය උපමාවකින් මෙම තත්ත්වය පැහැදිලි කළහොත් තරුණ යුවළක් විවාහ වීමෙන් පසු මධු සමය ගත කිරීමට යන්නේ තම ප්‍රථම ලිංගික සංසර්ගය සඳහා බව කවුරුත් දනිති. මෙම ක්‍රියාවලියේදී මනාලියගේ මෙන්ම මනාලයාගේ ද කන්‍යා භාවයට හානි පැමිණේ. මෙහිදී මනාලයා කන්‍යා භාවයට හානි පැමිණීම පිළිබඳව කල්පනා කරමින්, ලිංගික සංසර්ගයේ යෙදීම ප්‍රමාද කරන්නේ නම් සිදුවන්නේ ඔහු ෆැන්ටසි සාගරයක ගිලීයාම සහ පැය කිහිපයකින් මධු සමයේ රාත්‍රිය ගෙවී ප්‍රතිඵලයකින් තොරවම පසුදිනට එළි වීමය. ජනාධිපතිවරයා, ආණ්ඩුවේ විවිධ පක්ෂවල නායකයන් සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ නායකයින් මංගල රාත්‍රියේදී තමා අතින් සිදුවිය යුතු වගකීම ඉටු කිරීම පසුවට කල් තබමින් ෆැන්ටසි සාගරයක ගිලී සිටිද්දී රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතු දේ පිළිබඳ වගකීම නොබියව ගෙන ඇත.

ඉහත සියලු තොරතුරු සවිඥාණිකව පරිශීලනය කරණු ලබන සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පැහැදිලිව අවබෝධ කර ගත හැකි සත්‍ය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ලංකා පුවත්තේ පිටුවක් පුරා දිග හැරෙන මේ වියමන පුරාවටම ඇත්තේ තෝරා ගැනීම් වෙනුවට මගහැර යාම් බවය. මේ ලිපිය මනා සිහිබුද්ධියෙන් පරිශීලනය කරණ අයෙකුට අවබෝධ වන්නේ  මේ ලිපිය යනු පසුගිය සතිය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ විසින් විවිධ ස්ථානයන් හිදී කරණු ලැබු ප්‍රකාශයන් සියල්ල එක් කොට එක් වියමනක් සේ ගොනු කිරීමක් විනා මෙම ලිපිය මගින් ගොඩ නගන්නට උත්සහ කරණ දේශපාලන මතවාදය හෝ තර්කය කුමක්ද යන්න ගැන පැහැදිලි නැති බවය.

අප සමබිම අතිරේක ඔස්සේ රනිල්ගේ ප්‍රකාශය මනා ලෙස අර්ථ ගන්වමින් මේ රටේ ජනවාර්ගික ගැටලුවේ දී අප තෝරා ගනු ලබන මාර්ගය පීළිබදව මගහැර නොගොස් තෝරා ගන්නා මාර්ගය පිළිබදව සෘජුවම ප්‍රකාශයට පත් කොට ඇත. කවුරු කොහොම විරුද්ධ වුවත් බලය බෙදිය යුතුය යන මතවාදය අපවිසින් කිසිම විටකදී මගහැර නොගොස් එය තෝරා ගතයුතු මාර්ගය වශයෙන් ප්‍රකාශයට පත් කළෙමු.

නමුත් මේ වියමන පුරාවට ජනතා විමුක්තා පෙරමුණ රටේ පවතින නොයෙකුත් ගැටලු සමිබන්ධයෙන් පුහු තර්ක ඉදිරිපත් කරමින් ප්‍රධාන තේමාව වන ජනවාර්ගික ගැටලුවට විසදුම් සෙවීම සිවිම් ආකාරයෙන් මගහරින බව පැහැදිලිය. කොතරම් දෙමල ජනතාව සම්බන්ධයෙන් විස්සෝපයෙන් කතා කලත් ජ.වි.පෙ තවමත් සිංහල ජාතිවාදය පෝෂණය කරණ පක්ෂයක් වන නිසා දෙමලාට බලය බෙදනවාට ජාතිවාදි ජ.වි.පෙ තවමත් විරුද්ධය. මේ වන විටත් ජනවාර්ගික ගැටලුවට විසදුම ලෙස 13 එහා ගිය විසදුමක් ලබා දීම යන මාතෘකාව සම්බන්ධයෙන් ඔවුන් කසාය බිවූ ගොලුවන් පරිද්දෙන් මුනිවත රකිමින් සිටියි. එදා ප්‍රභාකරන්ගේ මරණය මොහොතේ හන්දි ගානේ කිරිබත් කෑ සිය ජාතිවාදී සමාජිකයන්ගේ මනදොල පුරවනු වස් දෙමළ ජාතියේ අයිතීන් වෙනුවෙන් මුනිවත රැකීමේ ජ.වි.පෙ පිළිවෙත හරියටම සමපාත වෙන්නේ ඉස්සරහින් බුදු සරණයි කියා පසුපසින් හොර හරකුන් මරන්නට ගෙනයන ලොරියකට යැයි පැවසීම සාධාරණය. ජ.වි.පේ. ඉහළ මට්ටමේ සාමාජිකයෙකු මා සමග පැවසුවේ ප්‍රභාකරන්ගේ මරණය අවස්ථාවේ පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට කිරිබත් උයන තැන් වලට යන්න යැයි කියන ගමන්ම ඔවුන් වැල්ලවත්තේ දෙමල ජනයාගේ සුව දුක් බලන්නට ගිය බවයි. මේ ඩබල් ගේමි ක්‍රමය නිසා පක්ෂයක් ලෙස ජ.වි.පෙ ජෝක් වීමේ කාලය දැන් උදාවෙමින් පවතින බව පැහැදිලිය. අපි තවත් ජාතියක විමුක්තිය ජෝක් කරන විට අපේ ජාතික විමුක්තිය ඉබෙිටම ජෝක් එකක් වන බව දැන්වත් ජ.වි.පෙට අවබෝධවනවා නම් හොදය.

 මීට පෙර ජවිපෙ හිස්ටරික චන්දීකා කුමාරතුංග සමග පරිවාස දීග කන්න ගියා. පස්සේ ග්‍රස්ථික නියුරෝසික මහින්ද රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩිකරවලා ප්‍රභාකරන් ඇතුලු කොටි සංවිධානය සමූල ඝාතනය කරන්න මහින්දට උදවි කළා. පස්සේ සරත් ෆොන්සේකා මේ රටේ ජනාධිපති කරන්න වළි කෑවා. දැන් දෙමල ජනතාවගේ අයිතීන් උදෙසා යැයි කියමින් අපි ශ්‍රී ලාංකිකයෝ යැයි මරහඩ තලන ගමන්ම බලය බෙදනවාටත් විරුද්ධ වෙනවා. මේ හැම කාරණයකින්ම ඔප්පු වන්නේ මේ රටේ දක්ෂිණාංශික පක්ෂ වලටත් වඩා වාමාංශිකයි යැයි කියා ගන්නා ජවිපේ ජනප්‍රියවාදී දේශපාලනය පසුපස හබායන බව නොවෙද? අපේ දේශපාලනයේ සහ ජවිපෙ දේශපාලනයේ බෙදුම් ඉර තීරණය වන්නේ මෙන්න මෙතනදීය.

අපි දේශපාලනය සම්බන්ධයෙන් වැහිලිහිනියන් ලෙස කටයුතු කරද්දී ජවිපේ කපුටන් ලෙස දේශපාලනයේ නියැලෙනවා යැයි කියන්නේ මෙන්න මේ නිසාය. අපි අනාගත සමාජ අර්බුදයන් කලින්ම සංජානනය කරලා ඔන්න වහින්නයි යන්නේ සූදානම් වෙයල්ලා යැයි සවිඥාණිකව ඉගි කරද්දී කපුටන් ලෙස ජවිපෙ කරන්නේ උදාවුණ සමාජ අර්බුදයෙන් තමන්ට කන්නට පුලුවන් ලොකුම කොට කෑ ගහමින් භුක්ති විදින එක පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සමග හෝ එහි සාමාජිකයන් සමග කිසිදු පෞද්ගලික වෛරයක් අපට නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් අපට ඇත්තේ දේශපාලන විවෙිචනයන් පමණි. රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද මෙපරිද්දෙන්ම දේශපාලන විවෙිචනයන් පමණක් ඇති නිසා හොද දේ අගය කිරීමේ දේශපාලනික විනය සම්බන්ධයෙන් අපට විස්වාසය. මේ නිසිා වසර ගණනක් යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනතාවට බලය බෙදීම මගින් ස්ථිර ව්සදුමක් ලබා දෙනවාට කැමති අප දේශපාලන කුහක කමින් තොරව රනිල්ගේ ප්‍රකාශය අගය කලෙමු.

දේශපාලන නායකයකු වශයෙන් ඔහු ඒ කළ ප්‍රකාශය අගය  කළ යුතුය. මෙම ප්‍රශ්නය ‛හොරගල් ඇහිලීමෙන්’ විසඳිය නොහැකි බවත්, ලංකාව තවත් බුරුමයක් හෝ සිම්බාබ්වේ දේශයක් බවට පත්වීමට සහ අනාගතයේදී විදේශ මැදිහත්වීමක් මගින් රට බෙදන තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට අද රටක් වශයෙන් නිර්භීත තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන බවත් අප දිගින් දිගටම දරන ලද ස්ථාවරයයි.

“13 දීම යනු ඊළාමය පස්ස දොරින් දීමක් බව අපි නොපැකිළිව ප්‍රකාශ කරමු. මේ අවස්ථාවේ රජය විසින් කළ යුත්තේ 13 කප්පාදු කරන බවක් අඟවා ඉදිරිපත් කිරීම නොව එය අවලංගු කිරීමට කටයුතු කිරීමයි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට ප්‍රතිවිරුද්ධ මතය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර මහතා විසින් පසුගිය 10 වන දා දිවයින ඉරිදා සංග්‍රහයේ පළකොට ඇත.

ලංකාවේ අනාගතය තීරණය වන මාර්ගය වැටී ඇත්තේ ඉහත දැක්වූ ස්ථාවර දෙකෙන් එකක් ඔස්සේය. එක මාර්ගයක් අනාගතය දෙසට යොමු වී ඇති අතර අනෙක් මාර්ගය අතීතය දිහාවට යොමු වී ඇත. හරියටම කිව්වොත් මීට වසර දහයකට පෙර සර්බියාව මුහුණ දුන් අභියෝගයටම වෙනත් ස්වරූපයකින් ලංකාව මුහුණ දී ඇත. මේ දෙදෙනා හැරුණු විට වමේ සහ දකුණේ අනෙක් සියලුම දේශපාලන නායකයන් මේ සැබෑ ප්‍රශ්නයට සෘජුව මුහුණ දීමට අසමත් වීම නිසා ආසනික් වැනි සරල ප්‍රශ්නවල එල්ලී සිටිති. වැඩිකල් නොගොස් ඔවුන්ට ද ඉහත දැක්වූ ස්ථාවර දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවනු ඇත.

 

 

1 Comment

  1. රනිල්ගේ ප්‍රකාශයට මමත් 100%ක් එකඟයි (අපේ රටේ මිනිස්සු රනිල් පන්සිල් කිව්වත් වැරදි කොණකින් තමයි අල්ලගන්නෙ )


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s